නසනීන් රැට්ක්ලිෆ් නිදහස ලබයි



වසර 6 කට වැඩි කාලයක් තිස්සේ ඉරානයේ සිරගත කරනු ලැබ සිටි ‍‍ඉරාන බ්‍රිතාන්‍ය ජාතික 43 හැවිරිදි නසනීන් සගාරී රැට්ක්ලිෆ් නිදහස ලබා බ්‍රිතාන්‍යය බලා පැමිණියාය.

නසනීන් උපතින් ඉරාන ජාතිකයෙකි. ඇය උපත ලබා ඇත්තේ තෙහෙරාන් නුවරය. ඇය තෙහෙරාන් නුවර ගුරුවරියක ලෙස රැකියාව කළ තැනැත්තියකි.

පසුව ඇය බ්‍රිතාන්‍ය ජාතික රිචඩ් රැට්ක්ලිෆ් සමඟ විවාහ වී ලන්ඩනයේ පදිංචියට ගොස් තිබේ. ඇය සහන සේවා සපයන තෝමස් රොයිටර් පදනමට සම්බන්ධ වී, ව්‍යාපෘති කළමණාකාරිනයක ලෙස යළි ඉරානයට පැමිණ සිටියාය.

2016 අප්‍රේල් 3 වැනිදා තෙහෙරාන් ගුවන් තොටුපොළේ දී  ඉරාන විප්ලවීය හමුදාව නසනීන් අත්අඩංගුවට ගත් අතර, ඉරාන රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කළේ යැයි යන චෝදනා සම්බන්ධයෙන් නඩු පැවැරිණි. නසනීන් ට සිරදඩුවම් නියම වූයේ ඒ අනුවය.

නසනීන් සගාරී රැට්ක්ලිෆ් ට පමණක් නොව, තවත් ඉරාන බ්‍රිතාන්‍ය ජාතිකයකු වන අනූෂේහ් අෂූරි ද නිදහස් කිරීමට ඉරාන රජය තීරණය කර තිබේ.

මොවුන් දෙදෙනා බ්‍රයිස් නෝර්ටන් බ්‍රිතාන්‍ය හමුදා ගුවන් කඳවුර වෙත ළඟා වූ බව පැවැසෙන්නේ ඕමානයේ කෙටි නැවතුමකින් පසුවය.

මීට අමතරව, ඉරානයේ සිරදඩුවම් විදිමින් සිටි ඇමෙරිකානු ජාතික මොරාඩ් තහ්බාස්ට ද නිදහස ලැබී ඇති අතර, ඔහු ඇමෙරිකාව බලා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉස්ලාමීය විප්ලවයට පෙර සිට බ්‍රිතාන්‍ය රජය ඉරානයට පවුම් මිලියන 400 ක (ඩොලර් මිලියන 520 ක) ණයක් ගෙවීමට නියමිතව තිබුණු අතර එම ණය මුදල පියවා දැමීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජය කටයුතු කර ඇතැයි ඉරාන මාධ්‍ය පවසා ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය කිසිවක් පවසා නැත.

(ඩේලිමේල්)


RECOMMEND POSTS