තුර්කිය හැදූ එන්නත හදිසි භාවිතයට අවසර



'කොවිඩ් 19' වයිරසයට එරෙහිව තුර්කි විද්‍යාඥයන්, දේශීය වශයෙන් ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා ඇති අතර, එම එන්නත හදිසි භාවිතයට සුදුසු යැයි එරට සෞඛ්‍ය අමත්‍යාංශයයේ අනුමැතිය ද ලැබී තිබේ.

දේශීය වශයෙන් නිපදවූ මෙම එන්නත ලබන සතියේ සිට තුර්කි වැසියන්ට ලබා දෙන බව තුර්කි සෞඛ්‍ය අමාත්‍ය ෆහ්රෙටීන් කෝකා පවසා ඇත. එන්නත නිපදවීම සිදුවී ඇත්තේ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේය.

එන්නත නම් කර ඇත්තේ 'ටර්කෝවැක්' යනුවෙනි. තුර්කි විද්‍යාඥයන් ඔවුන්ගේ දැනුම සහ ඔවුන් සතු තාක්ෂණය භාවිතයට ගනිමින් 'ටර්කෝවැක්' නිපදවීම ආරම්භ කළේ පසුගිය වසරේදීය.

කෙසේ නමුත් සායනික අත්හදා බැලීම් අසාර්ථක වූ බැවින් සහ විවිධ බාධක හමුවේ එන්නත් නිෂ්පාදන කටයුතු ප්‍රමාද විය. තුර්කි ජනාධිපතිවරයා පවසා ඇත්තේ තම විද්‍යාඥයන් නිපදවූ මෙම එන්නත ලොව සැමට බෙදා දීමට කටයුතු කරන බවය.

තුර්කිය මේ වනවිට එරට වැසියන්ට මිලියන 125 ක එන්නත් මාත්‍රා ලබා දී අවසන් යැයි පැවැසෙයි. එසේ ලබා දී ඇත්තේ චීනයේ 'සයිනොවැක්', 'ෆයිසර් බයෝඇන්ටෙක්' යන එන්නත්ය. මිලියන 51 කට පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා දී අවසන් අතර, මේ වනවිට එම පිරිසට තෙවැනි බූස්ටර් එන්නත ලබා දීම ද ආරම්භ කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS