තුර්කි සීයාට ‘කොරෝනා’ හොඳ වෙන්නේ නෑ



මාස 14 ක් තිස්සේ ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී සිටින පුද්ගලයකු ගැන තුර්කියෙන් වාර්තා වේ. මුසාෆර් කයාසන් නමැති 56 හැවිරිදි මොහු මේ වනවිට 78 වරක් කොරෝනා පරීක්ෂණවලට යොමු වී ඇති බවත්, තවමත් ඔහු ‘කොවිඩ් 19’ ආසාදිතයකු බවත් තුර්කි සෞඛ්‍ය අංශ කියයි.

මුසාෆර් කයාසන් ලියුකේමියා (ලේ පිළිකා) රෝගී තත්ත්වයෙන් පෙළෙන අයෙකි. 2020 වසරේ ආසාදනය වූ ‘කොවිඩ් 19’ වයිරස විෂබීජ ඔහුගේ සිරුරෙන් තුරන් නොවී පවතින්නේ, පිළිකාව හේතුවෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වී ඇති බැවින් යැයි වෛද්‍යවරු පැහැදිලි කරති. දීර්ඝ කාලයක් තිස්සේ ‘කොවිඩ් 19’ රෝගියකු ලෙස තහවුරු වූ ලොව පළමු වැන්නා වන්නේ ද මුසාෆර් ය.

එහෙයින් මුසාෆර් සිය පුතුගේ නිවස අසල වෙන්ව පිහිටා ඇති කුඩා කුටියක ජීවත් වෙයි. මුසාෆර් පළමුවෙන් ‘කොවිඩ් 19’ ආසාදිතව, රෝහල්ගත කෙරුණේ 2020 නොවැම්බරයේය. ඉන්පසු ඔහු විටින් විට රෝගල් ගත කෙරුණි. ඒ,‘කොවිඩ් 19’ සඳහා ‘පොසිටිව්’ වීම සහ සංකූලතා උත්සන්න වූ බැවිනි. ඒ සෑම අවස්ථාවකදීම තමා මියයාවි යැයි සිතුනත් එසේ නොවූ බව මුසාෆර් පවසා තිබේ.

‘මා හිතන්නේ මට ඇසාදනය වෙලා තිබෙන්නේ කොරෝනා වයිරසයේ ගැහැනු ප්‍රf්දයක්. ඒක වෙන්න ඇති එයා මාව දාලා නොයන්නේ’ යැයි මුසාෆර් පවසා ඇත්තේ විහිළු කරමිනි. ‘කොවිඩ් 19’ වයිරසය සිරුරේ පැවැතියත්, එයින් මුසාෆර්ගේ ජීවිතයට තර්ජනයක් නොමැති බව වෛද්‍යවරු පවසති. එසේ වුවත් වෛද්‍යවරුන් මුසාෆර් ගැන විමසිල්ලෙන් පසුවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාස නවයක් රෝහලේ සිටි මුසාෆර්, හුදෙකලාව ජීවත් වන්නේ මාස 5 ක් තිස්සේය. මුසාෆර්, සීයා කෙනකු වන අතර ඔහුගේ පුතු සහ මිණිබිරිය අස්රා නිරන්තරයෙන් මුසාෆර්ගේ දුවදුක් විමසා බැලීමට පැමිණෙති. ඒ මුහුණු ආවරණ පැලඳ සමාජ දුරස්ථභාවය රැක ගනිමිනි.

වෛද්‍යවරුන්ට අනුව, ‘කොවිඩ් 19’ විෂබීජය සිරුරේ තිබුණත්, එය අන් අයට බෝ නොවෙයි. එසේ වුවත්, තම පුතුගේත් මිණිබිරියගේත් පවුලේ අනෙක් අයගේත් වැඩි පරිස්සමට තමන් හුදෙකලා ජීවිතයකට යොමු වී, හුරු වී සිටින බව ද මුසාෆර් පවසයි. තමන්ට තවමත් ගද සුවඳ සහ රසය නොදැනෙන බව ද මුසාෆර් පැහැදිලි කර තිබේ.

මුසාෆර්, ‘කොවිඩ් 19’ සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන නැත. ඔහු ආසාදිතයකු බවට පත් වූයේ එන්නත ලබා ගැනීමට පෙරය. එදා සිට දිගටම ‘පොසිටිව්’ තැනැත්තකු බැවින්, මුසාෆර් ට එන්නත ලබා ගැනීමට නොහැකි යැයි තුර්කි සෞඛ්‍ය අංශ පවසයි.

(රොයිටර්)


RECOMMEND POSTS