තුර්කි විදේශ ඇමැති රුසියාවේ



තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් නියෝජනය කරමින්, තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුත් කවොසෝග්ලූ රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් හමුවී රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

‘යුද්ධ කළා දැන් ඇති. වහාම යුද්ධය නවත්වන්න ඕනෑ. අහිංසක වැසියන් තවත් මැරෙන්න ඕනෑ නැහැ.’ යැයි තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුත් කවොසෝග්ලූ රුසියන් විදේශ අමාත්‍යවරයා හමුවේ පවසා තිබේ.

මොස්කව් අගනුවර කළ සංචාරයෙන් පසු, තුර්කි විදේශ අමාත්‍යවරයා යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන විදේශ ආමාත්‍යවරයා හමුවී අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටි බව බටහිර මාධ්‍ය ඊයේ (16) වාර්තා කර තිබුණි.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ යුක්රේනය නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය සමඟ සමීපව කටයුතු කරන බැවිනි.

තුර්කිය ද නේටෝ සාමාජික රටකි. එසේ වුවත් රුසියානු ජනාධිපති පුටින් සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතරේ පවතින්නේ සමීප මිත්‍රත්වයකි. ඇමෙරිකාවේ ද උපදෙස් අනුව, තුර්කිය රුසියානු යුක්රේන අර්බුදය විසඳීමට මැදහත්කරුවකු වී සිටින්නේ ඒ නිසාය.

යුද ගැටුම් පවතිද්දී පවා රුසියානු සහ යුක්රේන නියෝජිතයන් අතරේ සාකච්ඡා පැවැත්වෙයි. එම සාකච්ඡාවලින් පෙනී ගොස් ඇත්තේ රුසියන් ජනාධිපති පුටින් මෙන්ම යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ද මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට සූදානමින් පසුවන බවය. පුටින් සහ සෙලෙන්ස්කී හමුවක් සංවිධානය කිරීමට ද තුර්කිය සූදානමින් සිටී.

(රොයිටර්)


RECOMMEND POSTS