තුර්කි ජනපති එමිරේට්ස් රාජ්‍යයේ



ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරයක නියැලෙයි.

තුර්කි ජනාධිපතිවරයා මෙසේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බලා පැමිණියේ දශකයකට පසුවය.

එමිරේට්ස් රාජ්‍යය සමඟ පවතින මිත්‍රත්වය මෙන්ම සහෝදරත්වය ද ඉදිරි වසර 50 පුරා ස්ථිරසාරව පවතිනු ඇතැයි අබුඩාබි පැමිණි තුර්කි ජනාපධිති එර්දොවාන් පැහැදිලි කළේය.

තුර්කි ජනාධිපති එර්දොවාන් මීට පෙර අබුඩාබි සංචාරයක් සඳහා පැමිණියේ 2013 වසරේදීය.

අබුඩාබි බලා පැමිණි තුර්කි ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමට අබුඩාබි ඔටුන්න හිමි කුමරු මොහොමද් බින් සයාද් අල් නහ්යාන් කටයුතු කළේය.

පසුගිය 2021 වසරේ නොවැම්බර් මාසයේ අබුඩාබි ඔටුන්න හිමි කුමරු තුර්කියේ අන්කාරා අගනුවරට ගොස් තුර්කි ජනාධිපතිවරයා හමුවිය.

අබුඩාබි පැමිණෙන්නැයි තුර්කි ජනාධිපතිවරයාට කුමරු එම අවස්ථාවේදී ඇරැයුම් කළේ යැයි මාධ්‍ය වාර්තා සිහිපත් කරයි. එම තුර්කි සංචාරයේ දී, කුමරු තුර්කිය සමඟ ආරක්ෂක, වෙළෙඳ සහ ආර්ථික, කාර්මික ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්, ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වටිනා ගිවිසුම් 13 කට අත්සන් කළේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS