තුර්කි ඊශ්‍රායල මිතුදම් ශක්තිමත් වන ලකුණු



තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ ඊශ්‍රායලයේ නව ජනාධිපති අයිසෙක් හෙර්සොග් අතර දුරකතන සංවාදයක් පැවැති බවත්, දෙරට අතර යහපත් සබඳතා ඇති කර ගැනීම සම්බන්ධයෙන් එහිදී සාර්ථක සාකච්ඡා පැවැත්වුණු බවත් වාර්තා වේ.

තුර්කිය මුස්ලිම් රාජ්‍යයක් වන අතර, ඊශ්‍රායලය ලොව එකම යුදෙව් රාජ්‍යයයි. දෙරට අතර මත ගැටුම් පවතින්නේත්, ඇයිහොඳයිකම් පළුදු වී තිබෙන්නේත් බටහිර ඉවුරේ මුස්ලිම් පලස්තීනුවන්ට ඊශ්‍රායලයෙන් එල්ල වන කෙණෙහිලිකම් නිසාය.

2018 වසරේ දී තුර්කිය ඊශ්‍රායල තානාපතිවරයාත්, ඊශ්‍රායලය තුර්කි තානාපතිවරයාත් නෙරපා දැමූ අතර, එදා සිට මේ දක්වා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වූයේ නැත.

ගාසා තීරයේ හමාස් සංවිධානයට ආධාර කිරීම වහා නවත්වන්නැයි ඊශ්‍රායලය තුර්කියට දන්වා ඇත. ඊශ්‍රායලයත් ඇමෙරිකාවත් හමාස් සංවිධානය සලකන්නේ ත්‍රස්ත සංවිධානයක් ලෙසය.

තුර්කි ජනාධිපති එර්දොවාන් සහ ඊශ්‍රායලයේ නව ජනාධිපති අයිසෙක් හෙර්සොග් අතර දුරකතන සංවාදය සාර්ථක වූ බව තුර්කියේ පාලක ඒ.කේ. පක්ෂය පවසා තිබේ. පළමුවෙන්ම ඊශ්‍රායල නව ජනාධිපතිවරයා අමතා ඔහුට සුබ පැතුවේ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ය. රාජ්‍ය තන්ත්‍රික සබඳතා තරකර ගැනීම සම්බන්ධයෙන් දෙදෙනා අතර සාකච්ඡා ආරම්භ වූයේ ඉන්පසුව යැයි පාලක ඒ.කේ. පක්ෂය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් පසුගිය දා තුර්කියේ සංචාරයකට පැමිණ තුර්කි ජනාධිපති හමුවිය. එහිදී පලස්තීන ජනාධිපතිවරයා තුර්කි ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ තුර්කි ඊශ්‍රායල සබඳතා ශක්තිමත් වී තිබීම කලාපීය ස්ථාවරභාවයට ලොකු ශක්තියක් බවය.

අන්කාරාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS