ජනපති EXPO 2020 ප්‍රදර්ශන භූමියේ



ඩුබායි නියෝජ්‍ය පාලක, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ෂෙයික් මක්ටුම් බින් මොහොමඩ් රෂීඩ් අල් මක්ටුම් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ඩුබායිහි EXPO 2020 ප්‍රදර්ශන භූමියේදී පැවැත්විණි.

මෙම හමුව දෙරට අතර මිතුදම ශක්තිමත් කරන්නක් බව රාජ්‍ය නායකයෝ දෙපල සඳහන් කළහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඩුබායි බලා ගියේ, පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගී වීම සඳහාය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 50 වන ජාතික දින සැමරුම වෙනුවෙන් සුබ පැතීමට ද ජනාධිපතිතුමා මෙය අවස්ථාවක් කර ගනු ලැබී ය.  කොවිඩ් මර්දන සහ එන්නත්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සහ කොවිඩ් පසුබිමක ආර්ථිකයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපතිතුමා, ඩුබායි නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කළේය.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ අනන්‍යතාවය ලොවට රැගෙන යෑමට එක්ස්පෝ ප්‍රදර්ශන කුටිය ඉවහල් වන බව පැවසූ ජනාධිපතිතුමා ඊට අවස්ථාව ලබා දෙමින් දැක්වූ සහායට සිය ස්තූතිය පිරිනැමීය.

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනය අනුව EXPO 2020 ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය. අක්කර 1083 ක කාන්තාර බිමක පැවැත්වෙන EXPO 2020 ප්‍රදර්ශනය සඳහා රටවල් 192ක් සහභාගී වෙයි.

“සිත් සම්බන්ධ කිරීම, අනාගතය නිර්මාණය කිරීම” යන ආදර්ශ පාඨය යටතේ ඔක්තෝබර් මස පළමු වැනි දා ඇරඹි ප්‍රදර්ශනය ලබන මාර්තු 31 වනදා දක්වා පැවැත්වේ.

ප්‍රදර්ශනය නැරඹීමට මේ වන විට ලොව පුරා රටවල් රැසකින් මිලියන 3කට අධික පිරිසක් පැමිණ ඇති බව සංවිධායකයෝ පවසති. ජනාධිපතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රදර්ශන කුටිය නැරඹීමට එක් වූ අතර විශේෂ අමුත්තන් වෙනුවෙන් එහි තබා ඇති සමරු පොතේ සටහනක් ද තැබීය.

මේ අතර ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය නරඹමින් සිටිය දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය සහ ඩුබායිහි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් මහතා හමුවීම ද විශේෂ සිදුවීමක් විය.

ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා සහ වෙළෙඳ සහ සංස්කෘතික සබඳතා පිළිබඳ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට ද ජනාධිතිතුමා මෙය අවස්ථාවක් කර ගනු ලැබී ය. EXPO 2020 ප්‍රදර්ශනය මෙරට සංචාරක කර්මාන්තය සහ තේ, ඇඟලුම් ඇතුළු අපනයන ක්ෂේත්‍ර රැසක ප්‍රගතියට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා යන මහත්වරු ජනාධිපතිතුමා සමඟ මේ අවස්ථාවන්ට එක් වූහ.


RECOMMEND POSTS