ගල්ෆ් මුස්ලිම් රටවලින් ඊශ්‍රායලයට විරෝධයක්



ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයට අයත්, අරාබි සහ ඉස්ලාමීය රටවල රාජ්‍ය නායකයන්ගේ හදිසි සමුළුවක්, කටාර් රාජ්‍යයේ දී පැවැත්විණි. ඒ, පසුගියදා ඊශ්‍රායල හමුදාව, දෝහා අගනුවර හමාස් නායකයන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාරයට විරෝධය දැක්වීමක් වශයෙනි.

කටාර් රාජ්‍යයේ ස්වෛරීත්වය උල්ලංඝනය වන ආකාරයට, දෝහා අගනුවරට ඊශ්‍රායලය පහර දීම බියගුලු ක්‍රියාවක් බව ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ රාජ්‍ය නායකයන් ඒකමතිකව තීරණය කළ අතර, ඔවුහු සියලුදෙනා එක් වී ආරක්ෂක යාන්ත්‍රණයක් සකස් කිරීමට සාකච්ඡා පැවැත්වූහ.

කටාර් රාජ්‍යයට අමතරව, ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයට අයත් සෙසු රටවල් වන්නේ බහරේනය, කුවේටය, ඕමානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි.

සමුළුවේ මුලසුන හෙබවූයේ කටාර් එමිර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානීය. සමුළුව ආරම්භ කරමින්, අල් තානි ඊශ්‍රායලයට දොස් නැගුවේ, ඊශ්‍රායලය ඇමෙරිකාවට මුවා වී, තමන්ට රිසි පරිදි රිසි දෙයක් කරන බවටය.

කටාර් රාජ්‍යය සහ ඇමෙරිකාව අතරේ ද ඉතා සමීප මිත්‍රත්වයක් පවතී. කටාර් රාජ්‍යයේ ඇමෙරිකන් හමුදා කඳවුරු ද පිහිටයි. ප්‍රහාරය එල්ල කිරීමට පෙර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කටාර් බලධාරීන්ට අනතුරු ඇඟවීම් කළේ යැයි පැවැසුවත්, කටාර් ඒමිර් එය ප්‍රතික්ෂේප කර තිබේ. 

දෝහා ප්‍රහාරය තමන්ගේ තීරණයක් බවත් ඇමෙරිකාව ඊට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත.

ගාසා යුද්ධය සම්බන්ධයෙන් ද සමුළුවේදී අදහස් පළ විය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට, ගාසා යුද්ධය අවසන් කිරීමේ කිසිදු අරමුණක් නැති බව ද කටාර් එමීර්වරයා සමුළුවේදී සෙසු කලාපීය නායකයන් හමුවේ පැහැදිලි කළේය.

යළි කිසිම අවස්ථාවක, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට කටාර් රාජ්‍යයේ ඉලක්කවලට පහර දීමට ඉඩ නොදෙන බව ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් කටාර් රාජ්‍යයට සහතිකයක් ලබා දී ඇතැයි ද පැවැසෙයි.

දෝහා අගනුවරට ගල්ෆ් සහයෝගීතා කවුන්සිල නායකයන් රැස්වෙද්දී, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ඊශ්‍රායලය බලා ගියේය. ඒ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් අනුවය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. රූබියෝ, ජෙරුසලමේ ශුද්ධ වූ බටහිර ප්‍රාකාරය වෙත ගොස් ගෞරව දැක්වීමට ද අමතක කළේ නැත.


RECOMMEND POSTS