කටාර් සිටි ලාංකිකයෙකුට වෙඩි තබයි



කටාර් රාජ්‍යයේ දෝහා නුවර අල් වාබ් පළාතේ නිවාස සංකීර්ණයක් අසල සිදුවුණු වෙඩිතැබීමකින් එහි ආරක්ෂක නිලධාරියකු ලෙස රාජකාරි කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ‘දෝහා නිවුස්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

නිවාස සංකීර්ණයට ඇතුළුවීම සඳහා පැමිණි තරුණයකුගෙන් ඔහුගේ හැඳුනුම්පත ඉල්ලු අවස්ථාවේදී හටගත් මතභේදයක් දුරදිග යෑමෙන් මෙම වෙඩිතැබීම සිදු කර ඇතැයි ‘දෝහා නිවුස්’ පුවත් වෙබ් අඉවිය වැඩි දුරටත් පවසා තිබේ.

වෙඩි තැබීම කළ තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ද වාර්තා වේ. වෙඩි තැබීම සිදුවී ඇත්තේ 26 වැනිදා රාත්‍රියේය.

වෙඩි තැබීම කළ තරුණයා සමඟ කාන්තාවක සිට ඇති බවත්, වෙඩි තැබීමට භාවිත කළ ගිනි අවිය ලියා පදිංචි නොකළ එකක් බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

වෙඩි තැබීමේ සිද්ධිය දුටු සාක්ෂිකරුවන් පවසා ඇත්තේ එම තරුණයා ආරක්ෂක අංශ නිලධාරියාට කිහිප වතාවක් වෙඩි තබා එම ස්ථානයෙන් පිටවී ගිය බවය.

මියගිය ශ්‍රී ලාංකිකයා දරු තිදෙනකුගේ පියකු බව ද ‘දෝහා නිවුස්’ පුවත් වෙබ් අඩවිය වැඩි දුරටත් වාර්තා කර තිබේ. එම ශ්‍රී ලාංකිකයා මෙම 2022 වසර අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටි බව ද ‘දෝහා නිවුස්’ පුවත් වෙබ් අඩවිය අනාවරණය කර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ‘දෝහා නිවුස්’ පුවත් වෙබ් අඩවිය කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විමසීමක් කළ නමුන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශයක් දීමෙන් වැළැකී සිටි බව ද පැවැසෙයි.

(දෝහා නිවුස් ඇසුරිනි)


RECOMMEND POSTS