එමිරේට්ස් තානාපති යළි ඉරානයට



විදේශ අමත්‍යාංශ හරහා හොඳ හිත වර්ධනය වීමත් සමඟ තම තානාපති සායිෆ් මොහොම්මද් අල් සාබී, යළි ඉරානයේ තෙහෙරාන් අගනුවරට ගොස් රාජකාරි ආරම්භ කරනු ඇතැයි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පසුගිය සය වසරක කාලයේ එමිරේට්ස් රාජ්‍යය සහ ඉරානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටී තිබුණු අතර, තාානාපති ධුරය හෙබවූ සායිෆ් මොහොම්මද් අල් සාබී යළි ගෙන්වා ගැනීමට එමිරේට්ස් බලධාරීහු කටයුතු කර තිබුණි.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, ඉරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවැතුණේ 2016 දීය. ඒ, සෞදි අරාබිය මුල්කොට ගනිමිනි. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සෞදියේ සමීප මිතුරෙකි.

2016 දී සෞදි රජය, ෂියා මුස්ලිම් ආගමික නායක නිමාර් අල් නිමාර්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කළේය. ලොව ප්‍රධාන ෂියා මුස්ලිම් රාජ්‍යය ඉරානය වන අතර, ආගමික නායක නිමාර් අල් නිමාර් ට මරණ දඬුවම ලබා දීම ඉරාන වැසියන්ගේ දැඩි විරෝධයට හේතු විය.

ඉරාන විරෝධතාකරුවන් සිය ගණනක්, එරට තෙහෙරාන් අගනුවර, සෞදි තානාපති කාර්යාලයට කඩා වැදී අලාභහානි කළේ ඉන් අනතුරුවය. සෞදි තානාපති කාර්යාලයට ඉරාන වැසියන් කඩා වැදීමේ එම සිද්ධිය එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ද දැඩි පිළිකුලට ලක් විය. ඒ අනුව, ඉරානය සමඟ සබඳතා අත්හිටුවීමට එමිරේට්ස් රාජ්‍යය පියවර ගත්තේය.

කෙසේ නමුත් මේ වනවිට ඉරාන විදේශ අමත්‍යාංශය සහ එමිරේට්ස් විදේශ අමත්‍යාංශය අතරේ පැවැති සාකච්ඡා සාර්ථක වී ඇති අතර, තමන් සමඟ ශක්තිමත් සබඳතා පවත්වා ගෙන යන්නැයි ඉරානය ද එමිරේට්ස් රාජ්‍යයෙන් ඉල්ලීම් කර තිබේ. ඒ අනුව, තම තානාපති සායිෆ් මොහොම්මද් අල් සාබී යළි ඉරානය බලා පැමිණෙනු ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS