එක පොදියට අනතුරු



තුර්කියේ රිය අනතුරක් සිදුවී ඇති අවස්ථාවක, බස් රියක් සහ ට්‍රක් රියක් එම ස්ථානයට කඩා වැදීමෙන් තවත් අනතුරක් සිදුවුණු බවත් එයින් 35 දෙනකු මියගිය බවත් වාර්තා වේ. තුවාල ලැබූ ගණන 80 කට වැඩිය.

අනතුරු සිදුවූයේ ගයිසියැන්ටිප් සහ නිසිප් නගර අතරේ දිවෙන අධිවේගී මාර්ගයේය. පළමු අනතුරින් තුවාල ලැබූවන්ට වෛද්‍ය ආධාරකරුවන් පැමිණ ප්‍රතිකාර ලබා දෙමින් සිටිද්දී, වේගය පාලනය කර ගැනීමට නොහැකි වූ බස්රියක් සහ ට්‍රක් රියක් එම පිරිස මතට කඩා වැදුණි. සීසීටීවී ආරක්ෂක කැමරාවල සටහන් වුණු එම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.

වෛද්‍ය ආධාරකරුවන් පළමු අනතුරින් තුවාල ලැබූවන්ට ප්‍රථමාධාර ලබා දෙද්දී, මාර්ගයේ ගමන් කළ බොහෝ දෙනකු එහි ගොස් වටවී අවශ්‍ය සහාය ලබා දෙන්න විය. මාධ්‍යවේදීන් දෙදෙනකු ද එහි විය.

බස් රිය සහ ට්‍රක් රිය කඩා වැදීමෙන් මියගියේ සහ තුවාල ලැබුවේ එසේ රැස්ව සිටි එම පිරිසය. මාධ්‍යවේදියකු සහ වෛද්‍ය ආධාරකරුවන් දෙදෙනකු මියගිය පිරිස අතර සිටින බව තුර්කි රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS