ඊශ්‍රායලයේ කොරෝනා වාර්තාගත ලෙස ඉහළට



ගතවුණු පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායලයෙන් නව 'කොවිඩ් 19' ආසාදිතයන් 12,000 ක් වාර්තා වූ බවත්, වසර දෙකකට පසු එරටින් දෛනිකව වාර්තා වූ වැඩිම 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන මෙය බවත් ඊශ්‍රායල සෞඛ්‍ය අංශ පවසයි.

'කොවිඩ් 19' ආසාදිතයන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත්තේ, ඊශ්‍රායලය එරට වැසියන්ට සිවුවැනි එන්නත් මාත්‍රාවක් ද ලබා දීම ආරම්භ කර ඇති අවස්ථාවකය. සිවුවැනි මාත්රාරව ලබා දෙන්නේ බූස්ටර් එන්නත් මාත්‍රාවෙන් අනතුරුවය.

මේ වනවිට ඊශ්‍රායලයයෙන් වාර්තා වන සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 60,000 කට වැඩිය. මරණ වාර්තා වන්නේ 125 ක් ලෙසය. මරණ සැලකිය යුතු මට්ටමින් අඩුවී ඇත්තේ එරට සාර්ථක එන්නත්කරණ වැඩසටහන හේතුවෙන් යැයි ද පැවැසෙයි.

ඊශ්‍රායලයේ ජනගනය මිලියන 9.4 ක් වන අතර ඔවුන්ගෙන් මිලියන 4.3 ක් පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක් කර තිබේ. ඊශ්‍රායල වැසියන්ට වැඩි වශයෙන් ලැබී ඇත්තේ 'ෆයිසර්' එන්නතය.

ඊශ්‍රායල සෞඛ්‍ය අංශ, මේ මොහොතේ එම සිවුවැනි එන්නත නිර්දේශ කර ඇත්තේ අවුරුදු 60 වැඩි සහ බෝ නොවන රෝගාබාධ ඇති වැඩිහිටියන්ට සහ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට පමණි.

පළමු සහ දෙවැනි මාත්‍රා ලබා දීමෙන් පසු ඊශ්‍රායලයේ යළි 'කොවිඩ් 19' වසංගතය හිස එසවූ බැවින්, 'ෆයිසර්' සමාගමේ නිර්දේශ සහ තමන් සිදු කළ සායනික අධ්‍යයන පාදක කර ගනිමින්, ඊශ්‍රායල සෞඛ්‍ය අංශ තෙවැනි එන්නතක් (බූස්ටර්) ලබා දීමට උනන්දු වූයේ පසුගිය අගෝස්තු මාසයේදීය.ඒ අනුව, ලොව පළමු වරට බූස්ටර් එන්නත් දීම ආරම්භ කළේ ද ඊශ්‍රායලයයි.

ඒ අවස්ථාවේ, ඊශ්‍රායලයේ 'කොවිඩ් 19' ආසාදිතයන් යළි වැඩි වීමට පටන්ගෙන තිබුණේ 'ඩෙල්ටා' විකෘතිය හේතුවෙනි. ඊශ්‍රායලය 'බූස්ටර්' එන්නත් දීම ආරම්භ කිරීමෙන් පසු සෙසු රටවල් ද එය අනුගමනය කළේය. ඊශ්‍රායලයට පසු බූස්ටර් එන්නත් දීම ආරම්භ කළේ ඇමෙරිකාව, කැනඩාව සහ මහා බ්‍රිතාන්‍යයයි.

දැන් සිවුවැනි මාත්රාවක් ලෙස තවත් 'ෆයිසර්' එන්නතක් 60 වැඩි බෝ නොවන රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට ලබා දීමට ඊශ්‍රායල සෞඛ්‍ය අංශ තීරණය කර ඇත්තේ 'ඔමික්රෝන්' විකෘතිය සැලකිල්ලට ගනිමිනි. ඊශ්‍රායල සමාජයෙන් ද මේ වනවිට 'ඔමික්රෝන්' ආසාදිතයන් වාර්තාවීමට පටන්ගෙන ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS