ඊශ්‍රායලයේ ඔත්තු බැලීමක්



ඔත්තු බැලීමේ කටයුතුවල නියැලෙන ලොව ප්‍රමුඛ පෙළේ ඊශ්‍රායල සමාගමක්, ලොව ධනවත් සහ බලවත් පුද්ගලයන්ගේ අවශ්‍යතා පරිදි, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන්, නීතීඥවරුන් ඇතුළු බොහෝ දෙනකු ගැන ඔත්තු බලා ඇතැයි ඇමෙරිකාවේ 'වොෂින්ටන් පෝස්ට්' සහ බ්‍රිතාන්‍යයේ 'ද ගාඩියන්' යන පුවත්පත අනාවරණය කර තිබේ.

මෙම අනාවරණයත් සමඟ විශාල කැලඹීමක් ද නිර්මාණය වී අවසන්ය. NSO Group නමැති මෙම ඊශ්‍රායල සමාගම, ඔවුන්ගේ සේවාදායකයන්ට ඔත්තු බැලීමේ කටයුතු කර දෙන්නේ ජංගම දුරකතනවලට ඇතුළු කරන ඔවුන්ගේ මෘදුකාංගය හරහාය. මෙය හැඳින්වෙන්නේ 'පෙගසස්' Pegasus යනුවෙනි.

Pegasus මෘදුකාංගය කෙටි පණිවුඩ හෝ අනවශ්‍ය ආකාරයේ ඊ මේල් පණිවුඩයක් ලෙස ස්මාට් ජංගම දුරකතනයට ඇතුළු වී, එම දුරකතනය හිමිකරුගේ සියලු දත්ත ලබා ගැනීම සිදු කරයි. 'ෆේස්බුක්', 'වයිබර්' ආදී සමාජ මාධ්‍යවලට ද නොදැඅනුත්වම ඇතුළු වී, හිමිකරු හිතවත්කම් පවත්වන්නේ කවුරුන් සමඟ ද යන්න පිළිබඳ විස්තර රැස් කරගනී. මේ සියල්ල සිදුවන්නේ හොර රහසේය.

ඇමෙරිකාවේ 'වොෂින්ටන් පෝස්ට්' වාර්තා කර ඇති ආකාරයට NSO Group සමාගම ඔවුන්ගේ 'පෙගසස්' Pegasus මෘදුකාංගය හරහා ස්මාට් ජංගම දුරකතන 37 ක් හැක් කර (අනවසරයෙන් ඇතුළු වී) තිබේ. NSO Group සමාගම ඔත්තු බලන පුද්ගලයන් සහ මාධ්‍ය ආයතනවල විස්තර මේ වනවිට ප්‍රසිද්ධියට පත් කිරීමට ද 'වොෂින්ටන් පෝස්ට්' අනාවරණය කර තිබේ.

'වොෂින්ටන් පෝස්ට්' පුවත්පතේ මාධ්‍යවේදීන්ගේත්, 'අල් ජසීරා', 'ද ගාඩියන්' ඇතුළු ලොව ප්‍රධාන පෙළේ පුවත්පත් සහ විද්‍යුත් පුවත් නාළිකාවල මාධ්‍යවේදීන්ගේ ඡංගම දුරකතන 'පෙගසස්' Pegasus හරහා හැක් කර තිබේ. සෙසු පුවත් නාළිකා වන්නේ 'රොයිටර්', 'වොයිස් ඔෆ් ඇමෙරිකා', 'ද ඉකෝනොමිස්ට්', 'බ්ලූම්බර්ග්', 'ල මොන්ද්', 'ඒ.එෆ්.පී.', නිව්යෝක් ටයිම්ස්' ආදියයි.

මාධ්‍යවේදීන් පමණක් නොව, සමාජ ක්‍රියාකාරීන්, නීතීඥවරුන්, දූෂණ විරෝධී ක්‍රියාකාරීන්, විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් ගැන ඔත්තු බැලීමට ද NSO Group සමාගමේ සේවා ලබා ගෙන ඇති බව 'වොෂින්ටන් පෝස්ට්' වැඩි දුරටත් පවසා තිබේ.‍

2016 වසරේ සිට මේ දක්වා NSO Group සමාගම පුද්ගලයන් 50,000 ක් ගැන ඔත්තු බලමින් සිටින බව 'ද ගාඩියන්' පුවත්පත පවසා ඇත.

'වොෂින්ටන් පෝස්ට්' සහ 'ද ගාඩියන්' පුවත්පත් මේ බව අනාවරණය කළේ ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍රකොට ගත් රාජ්‍ය සංවිධානයක් වන 'ෆොබිඩන් ස්ටෝරීස්' ආයතනය ලබා දුන් තොරතුරු අනුවය. 'ෆොබිඩන් ස්ටෝරීස්' ආයතනය තොරතුරු ලබා ගත් ආකාරය මෙතෙක් හෙළි වී නැත.

ඔත්තු බැලීමේ කටයුතු සඳහා NSO Group සමාගම සහ 'පෙගසස්' Pegasus මෘදුකාංගයේ සහාය ලබා ගත් පුද්ගයන් අතර ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, අරාබි රජ පවුලේ සාමාජිකයන්, දේශපාලනඥයන්, ව්‍යාපාර ප්‍රබලයන් ආදිය සිටින බව පැවැසෙයි.

2018 වසරේ 'වොෂින්ටන් පෝස්ට්' පුවත්පතේ මාධ්‍යවේදියකු ද ලෙස කටයුතු කළ ජමාල් කශොග්ජී ඝාතනය වීමෙන් පසු ඔහුගේ පෙම්වතිය ගැනත් පවුලේ සෙසු සාමාජිකයන් ගැනත් Pegasus මෘදුකාංගලය හරහා ඔත්තු බැලීම් සිදුවූ බව මේ වනවිට තහවුරු වී තිබේ. ජමාල් කශොග්ජී සෞදි මාධ්‍යවේදියකු වන අතර, ඔහු ඝාතනය වූයේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු විවේචනය කළ බැවින් යැයි පැවැසෙයි. කෙසේ නමුත් එල්ල වන චෝදනා කුමරු තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

'පෙගසස්' Pegasus මෘදුකාංගය ඉතාමත් සංකීර්ණ මෙන්ම පවතින නවීනතම තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද එකකි. මෙය නිපදවා ඇත්තේ ඊශ්‍රායල සමාගමකි.

NSO Group සමාගමේ සේවාව ලබා ගනිමින්, 'පෙගසස්' Pegasus මෘදුකාංගය භාවිතයට ගත් රටවල් බව තහවුරු වී ඇත්තේ අසර්බයිජානය, බහරේනය, සෞදිය, කසක්ස්තානය, හංගේරියාව, මෙක්සිකෝව, මොරොක්කෝව, රුවන්ඩාව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි. ඊට අමතරව අසල්වැසි ඉන්දියාව ද එම ලැයිස්තුවේ සිටින බව වාර්තා වේ.

අල් ජසීරා


RECOMMEND POSTS