ඊශ්‍රායලයෙන් නව ආසාදිතයන් වාර්තා වෙයි



සිය ජනගහනයෙන් සියයට 70 කට වඩා වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබා දී සම්පූර්ණ කළ ඊශ්‍රායලයෙන් යළිත් වරක් කොරෝනා රැල්ලක් ආරම්භ වී ඇති බවත්, එම රැල්ලට හේතුව 'ඩෙල්ටා' විකෘතිය ඊශ්‍රායලයේ පැතිරීමට පටන් ගැනීම නිසා බවත් ඊශ්‍රායල සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ලෝකයේ ඉතාමත් සාර්ථක එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති රටක් ලෙස ඊශ්‍රායලය සැලකෙයි. සාර්ථක එන්නත්කරණයත් සමඟ පැනැවූ තහංචි ද ලිහිල් කිරීමට ඊශ්‍රායලය සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති අතර, මුහුණු ආවරණ පවා අනිවාර්ය නොවෙයි.

ඊශ්‍රායලයේ අවුරුදු 12 ත් 15 ත් වයස්ප කාණ්ඩයේ කුඩා දරුවන්ට පවා 'ෆයිසර්' එන්නත ලබා දී ඇති අතර, දරුවන්ගේ පාසල් කටයුතු ද යළි ආරම්භ වී තිබේ. නව ආසාදිතයන් වාර්තා වීමට පටන් ගෙන ඇත්තේ එවැනි තත්ත්වයක් යටතේය.

ඊශ්‍රායල සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් 'හරේට්ස්' පුවත් සේවය වාර්තා කර ඇති අන්දමට ගතවුණු පැය 48 ඇතුළත නව ආසාදිතයන් 125 දෙනකු වාර්තා වී ඇත. එම 125 දෙනාගෙන් 100 කට වැඩි පිරිසකට ආසාදනය වී ඇත්තේ 'ඩෙල්ටා' විකෘතිය බව තහවුරු වී ඇත.

ඊශ්‍රායල නව අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් ද ජාතිය අමතමින් කියා සිටියේ නව ආසාදිතයන් පොකුරක් වාර්තා වී ඇති බැවින්, සෞඛ්‍ය අංශ ලබා දෙන මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙසය.

සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගන්නා ලෙසත්, අනිවාර්ය නොවුණත් නිවසින් පිටතට යන්නේ නම් මුහුණු ආවරණ පලඳින ලෙසත් අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. ඊශ්‍රායල සෞඛ්‍ය අංශ ද නව මාර්ගෝපදේශ හඳුන්වා දීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායල වැසියන්ට ලබා දෙන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නතය. මෙම එන්නත ලොව අනෙක් රටවලට පෙර ඊශ්‍රායල වැසියන් වෙනුවෙන් ලබා ගැනීම කළේ එරට හිටපු අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුය. නෙදන්යාහු එසේ කළේ 'ෆයිසර්' සමාගම සමඟ සෘජුව ගනුදෙනු කතා කර ගැනීමෙන් පසුවය.

'ඩෙල්ටා' විකෘතිය ආසාදනය වී ඇත්තේ ද 'ෆයිසර්' එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අයට යැයි 'හරේට්ස්' පුවත් සේවය වාර්තා කර තිබෙන නමුත් ඊශ්‍රායල සෞඛ්‍ය අංශ තවමත් ඒ ගැන පැහැදිලි කිරීම් කර නොමැත. ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම ඔවුන්ගේ එන්නත නිපදවා ඇත්තේ ජර්මනියේ 'බයෝඇන්ටෙක්' සමාගම සමඟ හවුලේය.

ලොවට හඳුන්වා දී ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් අතරින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පූර්ණ අනුමැතිය හිමිවුණු ඉතා සාර්ථක එන්නතක් ලෙස 'ෆයිසර්' එන්නත සැලකෙයි.

මේ අතර, 'ෆයිසර්' සමාගම පවසා ඇත්තේ ලොවට තර්ජනයක් වෙමින් පවතින 'ඩෙල්ටා' වයිරස විකෘති ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිශකත්තිය ඇති කිරීමට තම එන්නතට හැකියාව ඇති බවය.

(රොයිටර්)


RECOMMEND POSTS