ඊශ්‍රායල පාර්ලිමේන්තුව විසුරුවයි



එලැඹෙන නොවැම්බර් පළමු වැනිදා මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කරමින්, ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් ‘නෙසට්’ සභාව ඊයේ (30) විසුරුවා හැරුණි.

ඒ අනුව, ගතවුණු සිවු වසරක කාලයේ ඊශ්‍රායලයේ පැවැත්වෙන පස්වැනි මහ මැතිවරණය වනු ඇත්තේ මෙයයි. මැතිවරණය පවත්වා නව රජයක් පිහිටුවනතුරු භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ යාර් ලපිඩ් ය.

‘නෙසට්’ සභාව විසුරුවා හැරීම සඳහා ඡන්ද විමසුමක් පැවැත්වුණු අතර මන්ත්‍රීවරුන් සියලු දෙනා ඒකමතිකව ඒ සඳහා කැමැත්ත පළ කළ බව ද පැවැසෙයි.

පසුගිය වසරක කාලයක් තිස්සේ ඊශ්‍රායලයේ පැවැති පක්ෂ 8 ක් එක් වී පිහිටුවාගත් සන්ධාන රජයකි. එම පක්ෂ 8 එක් කර ගනිමින් රජයක් පිහිටුවීමට මැදිහත් වූයේ නෆ්තාලි බෙනට් සහ ඔහුගේ ‘යමීනා’ පක්ෂයයි.

දෙවැනි හවුල්කාරයා වූයේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස රාජකාරි ආරම්භ කළ යාර් ලපිඩ් සහ ඔහුගේ ‘යෙෂ් අතිද්’ පක්ෂයයි. හවුල් රජයක් පිහිටුවීමට හේතුව වූයේ 2021 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ද කිසිදු පක්ෂයකට බහුතරය හිමි නොවීම නිසාය.

නෆ්තාලි බෙනට් ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ අතර, යාර් ලපිඩ් ට විදේශ අමාත්‍ය ධුරය පිරිනැමුණි. මත ගැටුම් හේතුවෙන් සන්ධාන රජය බිඳ වැටෙද්දී නෆ්තාලි බෙනට් ධුරයෙන් ඉවත් වූ අතර, භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස යාර් ලපිඩ් නම් කළේය. යාර් ලපිඩ් ඊශ්‍රායලයේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට රාජකාරි ආරම්භ කළේ ඒ අනුවය.

නොවැම්බරයේ පැවැත්වෙන මහ මහැතිවරණයට තමන් තරඟ නොකරන බව ධුරයෙන් ඉවත් වුණු නෆ්තාලි බෙනට් පවසා තිබේ. බෙනට්, සිය ‘යමීනා’ පක්ෂ නායකත්වයෙන් ද ඉවත් වී ඇති අතර, පක්ෂ නායකත්වය අයෙලීත් ෂකාද් ට හිමි වී තිබේ.

50 හැවිරිදි නෆ්තාලි බෙනට් සහ යාර් ලපිඩ් එක් වී, දක්ෂිණාංශික මතධාරී දේශපාලන පක්ෂ සහ අරාබි දේශපාලන පක්ෂ හවුල් කර ගනිමින් 2021 වසරේ රජයක් පිහිටුවීම කළේ පළමුවෙන් බෙනට් අගමැති ධුරය හෙබවීමටත් පසුව, යාර් ලපිඩ් ට අගමැති ධුරය පිරිනැමීමටත් එකඟවීමෙන් ද පසුවය.

නෆ්තාලි බෙනට් සහ යාර් ලපිඩ් සන්ධාන රජයක් පිහිටුවූයේ 2021 ජූනි මාසයේය. ඒ, වසර 12 ක් තිස්සේ බලයේ සිටි බෙන්ජමින් නෙදන්යාහුගේ පාලනය බිඳ දමමිනි. නෙදන්යාහුට දූෂණ චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩු විභාග පවා පැවැත්වෙයි. නෙදන්යාහු තරයේ පවසා ඇත්තේ තමන් කිසිදු වරදක් සිදු කර නොමැති බවය.

නෙදන්යාහු දක්ෂිණාංශික මතධාරියෙකි. යළි දේශපාලන ගමනකට සූදානම් වන නෙදන්යාහු පවසා ඇත්තේ ඔක්තෝබරයේ පැවැත්වෙන මහ මැතිවරණයේ දී තමන් සහ තමන්ට සහාය දක්වන දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් ශක්තිමත් රජයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවය.

ඉදිරියේදී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයේ සංචාරයකට පැමිණෙනු ඇති අතර, බයිඩන් හමුවීම සහ සාකච්ඡා පැවැත්වීම සිදු කරනු ඇත්තේ නව අග්‍රාමාත්‍ය 58 හැවිරිදි ලපිඩ් ය. ජෝ බයිඩන්, ඇමෙරිකා ජනාධිපතිවරයා ලෙස ඊශ්‍රායලයේ සංචාරයට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.

(රොයිටර්)


RECOMMEND POSTS