ඊශ්‍රායල පලස්තීන ගැටුම් උත්සන්න වෙයි



නැගෙනහිර ජෙරුසලමේ, අල් අක්සා මුස්ලිම් පල්ලිය අසල පලස්තීනුවන් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ අතර හටගත් ගැටුම් මේ වනවිට දරුණු වෙමින් පවතී.

ගැටුම් ආරම්භ වූයේ පසුගිය සිකුරාදා (7) පලස්තීනුවන් 'ලයිලාත් අල් කදාර්' රාත්‍රිය සැමරීමට අල් අක්සා මුස්ලිම් පල්ලියට එක්රොක් වූ අවස්ථාවේදීය. ඊශ්‍රායල පොලිසිය රැස්වුණු පිරිස් විසුරුවා හැරීමට උත්සහ කළේ ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමිනි. එය ගැටුම් උත්සන්න කිරීමට හේතුවක් විය.

සිකුරාදා (7) දිනයේ 200 කට වැඩි පලස්තීනුවන් පිරිසක් තුවාල ලැබූ බවත්, ඊයේ (8)  80 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් පලස්තීන පාලන අධිකාරිය පවසා ඇත. අද (9) දිනයේ ගැටුම්වලින් පලස්තීනුවන් 60 දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ.

සිකුරාදා (7) දිනයේ ගැටුම්වලින් තම පොලිස් නිලධාරීන් 17 දෙනකු තුවාල ලැබූ බවත්, ඊයේ (8) දිනයේ පැවැති ගැටුම්වලින් තුවාල ලැබුවේ ඔවුන්ගේ එක් පොලිස් නිලධාරියකු පමණක් බවත් ඊශ්‍රායල රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පලස්තීන පාලනය යටතේ පැවැති අල් අක්සා මුස්ලිම් පල්ලිය පිහිටි නැගනෙහිර ජෙරුසලම, ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබුවේ, 1967 වසරේ පැවැති යුද්ධයෙන් පසුවය.

ජෙරුසලම තම අගනුවර ලෙස ඊශ්‍රායලය පිළිගන්නා අතර, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එය නිල වශයෙන් පිළිගත්තේ, ඊශ්‍රායලය සහාය දක්වමිනි. ට්‍රම්ප්, එසේ ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගත්තේ පලස්තීනුවන්ගෙන් පමණක් නොව, ජාත්‍යන්තරයෙන් ද එල්ල වුණු දැඩි විරෝධයත් අප්‍රසාදයත් මධ්‍යයේය.

ට්‍රම්ප් අනුගමනය කරමින් තවත් රටවල් කීපයක් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස සලකයි. නැගෙනහිර ජෙරුසලම තමන්ගේ අගනුවර යැයි පලස්තීනුවන් විශ්වාස කරන අතර, අනාගතයේ දිනෙක ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට වෙමින්, ජෙරුසලම යළි ඔවුන්ට හිමිවේවි යැයි යන්න පලස්තීනුවන්ගේ ප්‍රාර්ථනාවය.

නැගෙනහිර ජෙරුසලම ඊශ්‍රායලයේ ග්‍රහණයට නතු වුවත්, පලස්තීන බැතිමතුන්ට බාධාවකින් තොරව ඔවුන්ගේ ආගමික කටයුතුවලට සහභාගීවීමට අවසර දීමට ඊශ්‍රායලය එකඟ වී ඇත.
කෙසේ නමුත්, නිදහසේ ආගමික කටයුතුවලට යොමු වීමට ඊශ්‍රායලය තම වැසියන්ට අවසර නොදෙන බවට පලස්තින ජනාධිපති මොහොමද් අබ්බාස් චෝදනා කර ඇත.

මේ අතර, පලස්තීනුවන්ට එල්ල වුණු ප්‍රහාරය සාධාරණීකරණය කරමින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත්තේ, තම ආරක්ෂක අංශ රටේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ බවය.

පලස්තීන මුස්ලිම් බැතිමතුන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ප්‍රහාරය සෞදිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පවා හෙලා දැක තිබේ. පලස්තීනුවන්ට සිදුවන කෙණෙහිලිකම් හේතුවෙන් ඊශ්‍රායලය සමඟ සබඳතා අත්හිටුවා දමා පසුව ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් යළි ඊශ්‍රායලය සමඟ හොඳ හිත වර්ධනය කර ගැනීමට කටයුතු කළ රටවල් දෙකක් ලෙස සෞදියත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත් සැලකෙයි.

ජෙරුසලමේදීය (රොයිටර්)


RECOMMEND POSTS