ඊශ්‍රායල පලස්තීන ගැටුම් අවසන්



ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර දින 11 ක් තිස්සේ පැවැති ගැටුම් අවසන් විය. ඒ, දෙපාර්ශ්වයම සටන් විරාමයකයට කැමැත්ත පළ කළ බැවිනි.

සටන් විරාමයකට දෙපාර්ශ්වය කැමැති කරගෙන ඇත්තේ ඊජිප්තුව මැදහත්කරුවකු ලෙස කටයුතු කිරීමෙන් යැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ඊජිප්තු නියෝජිතයන්, පලස්තීනයේ හමාස් නියෝජිතයන් සහ ඊශ්‍රායල රජයේත් හමුදාවේත් නිලධාරීන් හමුවීමෙන් පසු සටන් විරාමයට කැමැත්ත හිමිවුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

දින 11 ක් තිස්සේ පැවැති ගැටුම්වලින් පලස්තීනුවන් 233 දෙනෙකු මියගිය බවත් ඔවුන්ගෙන් 65 දෙනකු කුඩා දරුවන් බවත් පැවැසෙයි. ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියෝ 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

සිවිල් වැසියන් ඝාතනය වීම සැලකිල්ලට ගනිමින්, සටන් විරාමයකට යෑමට පළමුවෙන් තීරණය කළේ ගාසා තීරයේ හමාස් සංවිධානයයි. කෙසේ නමුත් එම අවස්ථාවේදී පවා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා තිබුණේ ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් දිගටම හමාස් ඉලක්ක වෙත පහර දෙන බවය.

කෙසේ නමුත් ඊජිප්තු නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය තීරණය කළේ සටන් විරාමයකට යෑමට කැමැත්ත දිය හැකි බවය.

ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන ආකාරයට, දින 11 තිස්සේ පැවැති ගැටුම්වලින් ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ රොකට් සහ මෝටාර් ප්‍රහාර ගණන 4,000 කට වැඩිය.

ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර අර්බුදය දශක ගණනාවක් ඈතට දිවයන අතර, වර්තමානයේ පවතින අර්බුදයට හේතුව, ඊශ්‍රායලය යන නමින් යුදෙව්වන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් බිහිවීමය. මෙම රාජ්‍යය බිහිවූයේ පලස්තීනය යන නමින් හැඳින්වුණු භූමි ප්‍රදේශයේය.

අද පලස්තීන මුස්ලිම්වරුන් ගාසා තීරයටත්, බටහිර ඉවුර නමින් හැඳින්වෙන භූමි ප්‍රදේශයටත් සීමා විය. වසර 2006 වසරේ සිට පලස්තීන ප්‍රදේශය ප්‍රධාන පාර්ශව දෙක අතර ඇතිවුණු සටන් නිසා බෙදී ගොස් තිබේ. මෙම පාර්ශව වන්නේ 'ෆටා' හා 'හමාස්' ය.

පලස්තීන ජාතික අධිකාරිය පාලනය යටතේ වූ ප්‍රදේශය බටහිර ඉවුර 'ෆටා' සංවිධානය යටතට ද, ගාසා තීරය හමාස් සංවිධානය යටතටද බෙදී ගොස් තිබේ. හමාස් සංවිධානය දැඩි අන්තවාදී සංවිධානයක් වන අතර, මොවුන්ට ඉරානයේ සහාය නොඅඩුව හිමිවෙයි.

ඊශ්‍රායලයත් ඉරානයත් අතර එදිරිවාදිකම් පවතින්නේ එහෙයිනි. හමාස් සංවිධානය දේශපාලනික අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විත වන අතර, ප්‍රහාර එල්ල කරන්නේ සන්නද්ධ අංශයයි. ඊශ්‍රායලයටත් ඇමෙරිකාවටත් හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයකි.

(රොයිටර්)


RECOMMEND POSTS