ඊශ්‍රායලට ජාත්‍යන්තරයෙන් දොස්



කටාර් රාජ්‍යයේ දෝහා නුවර, හමාස් සංවිධානයේ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය මේ වනවිට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේත්, තුර්කිය ඇතුළු අසල්වැසි කලාපීය මැදපෙරදිග රටවලත් දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා, එම ප්‍රහාරය හෙලා දකිමින් පවසා ඇත්තේ ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ ස්වෛරීත්වයටත් භෞමික අඛණ්ඩතාවයටත් හානි වන ආකාරයට ක්‍රියා කළ බවය.

ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානයේ දේශපාලන අංශයට අයත් කාර්යාලයක් දෝහා නුවර පිහිටුවා ඇත. ඒ, කටාර් බලධාරීන්ගේ ද අනුමැතිය යටතේය. හමාස් සංවිධානය ලෝකයට විවෘත වන්නේ මෙම කාර්යාලය හරහාය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ අණ පරිදි, ඊශ්‍රායල හමුදාව පෙරේදා (9) මෙම කාර්යාලයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨයකු වන කලීල් අල් හයියා සහ තවත් සාමාජිකයෝ පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. කෙසේ නමුත්, කලීල් අල් හයියා සෙසු හමාස් නායකයන් හෝ ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියගිය බව හමාස් සංවිධානය තහවුරු කර නැත.

කටාරය, ඊජිප්තුව සහ ඇමෙරිකාව මැදිහත් වී, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සටන් විරාමයක් ගැන සාම සාකච්ඡා පවත්වද්දී, එම සාකච්ඡා සඳහා හමාස් සංවිධානයෙන් මැදිහත් වී කටයුතු කළේ කලීල් අල් හයියාය.

නව සටන් විරාමයකට ඊශ්‍රායලයට නැමැති වී හමාස් සංවිධානයට කොන්දේසි පවනා තිබෙන අතර, ප්‍රධාන මැදහත්කරු ලෙස කලීල් අල් හයියා එම සටන් විරාමයේ කොන්දේසි සම්බන්ධයෙන් සෙසු සාමාජිකයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටියදී, ඊශ්‍රායල ප්‍රහාරය එල්ල වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ නමුත්, කලීල් අල් හයියා  මියගිය බව හමාස් සංවිධානය මෙතෙක් තහවුරු කර නැත.

තම රටට එල්ල වුණු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කටාර් රාජ්‍යය දැඩි අප්‍රසාදය පළ කර ඇත. දෝහා නුවරට එල්ල වුණු ප්‍රහාරය බියගුලු ක්‍රියාවක් යැයි ද කටාර් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. කටාර් රාජ්‍යයේ සමීප මිතුරකු ලෙස කටයුතු කරන ඇමෙරිකාව පවසා ඇත්තේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කල්තියා කටාර් බලධාරීන් දැනුවත් කළ බවය. කෙසේ නමුත් මේ බව කටාර් බලධාරීන් තහවුරු කර නැත. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ පවතින්නේ ඉතාමත් ශක්තිමත් මිත්‍රත්වයකි. ඊශ්‍රායලයට රිසි දෙයක් කිරීමට ට්‍රම්ප්ගේ අනුමැතිය හිමවී ඇත.


RECOMMEND POSTS