ඉරානය ගැන පැහැදීමක්



සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු, සෙෳදියේ පරම හතුරා වන ඉරානය සම්බන්ධයෙන් පැහැදීමකින් කතා කළේය.

කුමරු ඉරානය සම්බන්ධයෙන් මෙසේ පැහැදීමකින් කතා කළේ ඔහුගේ '2030 දැක්ම' ක්‍රියාවට නංවා වසර 5 ක් ගතවීම නිමිත්තෙන් පැවැති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමිනි.

සෞදියට නව ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමක් ද මෙම '2030 දැක්ම' හරහා සිදුවෙයි. සෞදිය සහ කලාපීය අසල්වැසි රටවල් අතර මිතුදම් වර්ධනය කර ගැනීමට ද කුමරුගේ අවධානය යොමු වී ඇත.

මේ වනවිටත් සුන්නි මුස්ලිම් සෞදිය සහ ෂියා මුස්ලිම් ඉරානය අතර මිතුදම් වර්ධනය කර ගැනීමේ රහස් සාකච්ඡා වට කීපයක් ඉරාකයේ බැග්ඩෑඩ් නුවරදී පවත්වා අවසන් බව පැවැසෙයි.

සෞදියත් ඉරානයත් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුළුමනින්ම නවතා දැමුණේ 2016 දීය. ඒ, ඉරානයේ සෞදි තානාපති කාර්යාලයට ඉරාන විරෝධතාකරුවන් කඩා වැදී පහර දීමේ සිදුවීමෙන් පසුවය. එම සිදුවීමට මුල් වූයේ සෞදිය ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් ආගමික නායකයකුට මරණ දඩුවම දීමේ සිදුවීමය.

'ඉරානය අපේ අසල්වැසියෙක්. අප සූදානම් ඉරානය සමඟ යහපත් සබඳතා පවත්වාගෙන යන්න. ඒ වගේමයි විශේෂ මිතුදම් පවත්වාගෙන යන්න. ඉරානයේ දියුණුවට අප අකුල් හෙලන්නේ නැහැ.' යැයි සෞදි කුමරු පැහැදිලි කළේ එම සම්මුඛ සාකච්ඡාව අතරතුරේදීය.

(අල් ජසීරා)


RECOMMEND POSTS