ඉරාන පාර්ලිමේන්තුවට ‘ඔමික්‍රෝන්’ හරස් වෙලා



ඉරාන පාර්ලිමේන්තුවෙන් ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ පොකුරක් වාර්තා වීමත් සමඟ පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නවත්වා දමා ඇත. පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 290 දෙනකු සිටින බවත් ඔවුන්ගෙන් 50 දෙනකු මේ වනවිට ‘කොවිඩ් 19’ ආසාදිතයන් බවත් වාර්තා වේ.

‘කොවිඩ් 19’ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නැවැත්විය යුතු යැයි නිර්දේශ ඉදිරිපත් කර තිබුණේ ඉරාන රජයේ ‘කොවිඩ් 19’ කාර්ය සාධක බලකාය යැයි ද පැවැසෙයි.

පසුගිය 2021 අප්‍රේල් මාසයේ ද මේ අයුරින්ම පාර්ලිමේන්තුවේ කටයුතුවලට ‘කොවිඩ් 19’ වයිරසය හරස් විය. එම අවස්ථාවේදී සති දෙකක කාලයකට පාර්ලිමේන්තුව වසා දැමුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේ වනවිට ඉරානය මුහුණ දෙන්නේ ‘කොවිඩ් 19‘ හත් වැනි රැල්ලටය. ඉරානය ‘කොවිඩ් 19’ වසංගතයට මුහුණ දෙන්නේ ඇමෙරිකන් සම්බාධක මධ්‍යයේය. ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා ඇත්තේ, ඉරානයේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. පළමු රැල්ලෙන් බැට කද්දී, ඉරාන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් බොහෝ දෙනෙක් ‘කොව්ඩ් 19’ වයිරසයට බිලිවූහ.

‘කොවිඩ් 19’ ආසාදනය වූ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් 50 දෙනාගෙන් 10 දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඉරාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි

(රොයිටර්)


RECOMMEND POSTS