ඉරාන නාළිකාවකට හැකර් ප්‍රහාරයක්



ඉරාන රජයට අයත් නාළිකාවක ප්‍රවෘත්ති විකාශය වෙමින් තිබියදී, හැකර් ප්‍රහාරයක් එල්ල විය. ඒ, ප්‍රවෘත්ති විකාශන කටයුතු අඩපණ කරමිනි.

හැකර් ප්‍රහාරයත් සමඟ ප්‍රවෘත්ති විකාශය වෙනුවට රූපවාහිනියෙන් දකින්න ලැබුණේ වෙස් මුහුණකි. එය ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කෙහමේනීට පෑ විරෝධයකි.

නාළිකාවට හැකර් ප්‍රහාරයක් එල්ල කරමින් විකාශන කටයුතු අඩපණ කළේ ‘අඩාලට් අලී’ එසේත් නැතිනම් ‘අලීගේ යුක්තිය’ යන නමින් පෙනී සිටින ඉරාන රාජ්‍ය විරෝධී කණ්ඩායමය. මෙම කණ්ඩායමට ඇමෙරිකානු රජයේ සහාය ලැබෙනවා යැයි ඉරාන රජය චෝදනා කර තිබේ.

ඉරාන රජයට සහ උත්තරීතර නායක අයතුල්ලා අලී කෙහමේනීට විරෝධය පාමින්, ඉරානයේ විරෝධතා රැල්ලක් ආරම්භ වූයේ පසුගිය සැප්තැම්බර් 13 වැනිදා සිටය.

විරෝධතාවලට හේතු වූයේ හිජාබය නිසි ලෙස පැලැඳ නොසිටි බවට චෝදනා කරමින් පොලිස් අත්අඩංගුවට ගත් ඉරානයේ කුර්දි ජාතික තරුණියක මියයෑමේ සිද්ධියයි.

එම තරුණියගේ මරණය සම්බන්ධයෙන් කඩිනමින් අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීමට ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසී විරෝධතාකරුවන්ට පැවැසූ නමුත්, විරෝධතාකරුවන් ඊට කන් දුන්නේ නැත.

ඒ අනුව තෙහෙරාන් අගනුවර තෙක් විරෝධතා ව්‍යාප්ත විය. පොලිස් අත්අඩංගුවේ සිටියධී මියගියේ මාෂා අමීනී නමැති ඉරානකුර්දිස්ථාන තරුණියයි. ඇය ඉරානයට බටහිර දෙසින් පිහිටි සෙකෙසේ නමැති කුර්දිස්ථාන ප්‍රාන්තයේ පදිංචිකාරියක බව පැවැසෙයි.

ඉරානය පුරා පැවැත්වෙන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සඳහා ජනතාව උසි ගන්වන්නේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය යැයි ඉරාන උත්තරීතර නායකයා චෝදනා නගා තිබේ.

ඉරානයේ පරම සතුරන් වන ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී, කුමන්ත්‍රණය කරමින්, ඉරානය අස්ථාවර කිරීමට උත්සාහ ගන්නවා යැයි ද උත්තරීතර නායකයා වැඩි දුටත් පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS