ඉරාන ජාතික නොව්රේට එරෙහි නඩු විභාගය ඇරැඹේ



1980 දශකයේ, ඉරාක ඉරාන යුද්ධය අවසන් අදියරේ, පුද්ගල ඝාතන කරමින්, යුද අපරාධ කළේ යැයි ස්වීඩන අත්අඩංගුවේ පසුවන ඉරාන ජාතික හමීඩ් නොව්රේට චෝදනා එල්ල වී තිබේ.

ඉරානයේ කරාජ් පළාතේ ගොහර්ඩාෂ් බන්ධනාගාරයට රැගෙන ආ දේශපාලන සිරකරුවන්, රජයේ නියෝග මත ඝාතනය කළේ හමීඩ් නොව්රේ බව පැවැසෙයි. ඒ, 1988 වසරේදීය.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ස්ටොක්හෝම් නුවරදී හමීඩ් නොව්රේගේ නඩු විභාගය පැවැත්වෙයි. 60 හැවිරිදි හමීඩ් නොව්රේගේ නඩු විභාගය 2022 වසරේ අප්‍රේල් තෙක් පැවැත්වෙනු ඇත.

ඉරාක ඉරාන යුද්ධය මුල්කොට ගනිමින්, චෝදනා ලැබූ අයකු සම්බන්ධයෙන් පැවැත්වෙන පළමු නඩු විභාගය මෙය යැයි අල් ජසීරා පුවත් සේවය පවසයි.

ඉරාක ඉරාන යුද්ධයේදී දේශපාලන සිරකරුවන් 5,000 ක් ඉරානය පුරා ඝාතනයට ලක් විය. සියලු ඝාතන සිදුවූයේ එවකට ඉරානයේ ආධ්‍යාත්මික නායකයා ලෙස කටයුතු කළ රවුහල්ලා කොමේනීගේ අණ පරිදිය.

ස්වීඩන නීතියට අනුව, නඩු පැවැරීම කළ හැක්කේ ස්වීඩන වැසියන්ට පමණි. කෙසේ නමුත් ජාත්‍යන්තර නීතියට අනුව, ස්වීඩනයේ පදිංචි විදේශිකයන්ට එරෙහිව ද නඩු පැවැරීම් සිදුවෙයි.

ස්වීඩන බලධාරීන්, හමීඩ් නොව්රේ අත්අඩංගුවට ගත්තේ 2019 වසරේදීය. ඒ, ඔහු පෞද්ගලික කාරණයක් සඳහා ස්ටොක්හෝම් නුවරට ගිය අවස්ථාවේදීය.

එම වසරේ නොවැම්බරයේ දී එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ස්වීඩන අධිකරණය නියෝග කළේය. චෝදනා ගොනු කිරීම සහ නඩු විභාගය ආරම්භ වීම ඒ අනුව සිදුවිය.

(අල් ජසීරා)


RECOMMEND POSTS