ඉරාන ජනාධිපතිට සෞදි රජුගෙන් ඇරැයුමක්



දෙරට අතරේ යහපත් සබඳතා ආරම්භ වීමත් සමඟ, සෞදි සංචාරයක් සඳහා පැමිණෙන්නැයි, සෞදියේ සල්මාන් රජුගෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසිට ඇරැයුම් ලැබී ඇත.

මේ බව සෞදි මෙන්ම ඉරාන මාධ්‍ය ද තහවුරු කර තිබේ. සෞදි සංචාරයකට පැමිණෙන්නැයි සෞදි රජු ඉරාන ජනාධිපතිවරයාට ඇරැයුම් කර ඇත්තේ ලිපියක් යවමිනි.

කලක් පසමිතුරන් වූ සෞදිය සහ ඉරානය අතරේ යළිත් වරක්, යහපත් සබඳතා වර්ධනය වීම සම්බන්ධයෙන් සෞදියේ සල්මාන් රජු සතුටු වන බව ද එම ලිපියෙහි වැඩි දුරටත් දැක්වෙයි.

ඉරාන ජනාධිපති රයිසි ද සෞදියේ සල්මාන් රජුගේ එම ඇරැයුම පිළිගත් බව පිළිතුරු ලිපියක් යවමින් පැවැසූ බව, ඉරාන ජනාධිපති කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී මොහොමද් ජම්ෂීඩී නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වී තිබේ.

වසර ගණනක් පැවැති විරසක අවසන් කරමින්, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි වර්ධනය කර ගැනීමටත් තානාපති කාර්යාල කඩිනමින් විවෘත කර ගැනීමටත් සෞදිය සහ ඉරානය අතරේ එකඟත්වයක් ඇති වූයේ පසුගිය මාර්තු 10 වැනිදාය.

සෞදිය සහ ඉරානය අතරේ යහපත් සබඳතා වර්ධනය වූයේ චීන රජය මැදිහත් වීමෙන් පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව වසර 7 කට පසු යළි දෙරට අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය වීමට පටන්ගෙන ඇත.

සෞදිය සුන්නි මුස්ලිම් රාජ්‍යයක් වන අතර, ඉරානය ලොව එකම විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යයයි. සෞදිය සහ ඉරානය අතර විරසකවලට හේතුව ආගමික් ගැටුම්ය.

2016 දී ඉරානයේ සෞදි තානාපති කාර්යාලයට කලහකාරී ඉරාන වැසියෝ පහර දුන්හ. ඒ, සෞදි රජය, එරට ෂියා මුස්ලිම් ආගමික නායක නිමාර් අල් නිමාර්ට මරණ දඬුවම ලබා දීමට කටයුතු කළ බැවිනි.

මැදපෙරදිග කලාපයේ ඇමරිකාවේ ප්‍රධාන මිතුරා වන්නේ සේදි අරාබියයි. ඇමරිකාවේ ප්‍රධාන සතුරකු වන්නේ ඉරානයයි. ඇමරිකාව සහ ඉරානය අතර විරසකයට මුල් වී ඇත්තේ ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින විරසකයයි. චීනය මැදිහත් වී සෞදිය සහ ඉරානය මිතුරු කිරීම තමන්ට ගැටලුවක් නොවන බව ඇමරිකාව පෙන්වා දී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS