ඉරාකයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්



ඉරාකයේ සාදර් නුවර ප්‍රධාන වෙළෙඳපොළේ බෝම්බයක් පුපුරා යෑමෙන් 35 දෙනෙක් මියගියහ. තුවාල ලැබූ ගණන 60 කි. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවත් පැවැසෙයි.

එය මරාගෙන බෝම්බ ප්‍රහාරයක් බව මේ වනවිට අනාවරණය වී ඇත. බෝම්බකරුගේ ඉලක්කය වී ඇත්තේ, ඊද් උත්සවය සමරමින් ඇඳුම් පැලඳුම් සහ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට වෙළඳපොළට පැමිණි ඉරාක වැසියන්ය.

මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් වැඩිදෙනා කාන්තාවන් සහ කුඩා දරුවන් යැයි පැවැසෙයි. ප්‍රහාරය එල්ල වූයේ සාදර් නුවර වහයිල්ත් වෙළෙඳපොළටය.

ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සාමාජිකයන් විසින් බාරගනු ලැබ ඇතැයි ඉරාක මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ ඔවුන්ට හිතවත් 'ටෙලිග්‍රෑම්' නමැති නාළිකාව ඔස්සේ නිවේදනයක් නිකුත් කරමිනි.

ඊද් උත්සවය සමරමින්, භාණ්ඩ මිලදී ගැනීමට වෙළෙඳපොළට ආ කාන්තාවන් කුඩා දරුවන් ඇතුළු ඉරාක වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ එම කුරිරු ප්‍රහාරය හෙළා දකින බවත් එය සිත්පිත් නැති මහා අපරාධයක් බවත් ඉරාක ජනාධිපති බර්හාම් සාලීහ් පවසා ඇත.

මේ අතර ඉරාකයේ පවතින අර්බුද සම්බන්ධයෙන් ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කඩීමී හමුවී සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සූදානම් වෙයි. බයිඩන් කළ ආරාධනාවකට අනුව, ඉරාක අග්‍රාමාත්‍යවරයා ධවල මන්දිරයට පැමිණීමට නියමිතය.

ඉරාකයේ ෂියා මුස්ලිම් රජය, අසල්වැසි ෂියා මුස්ලිම් ඉරානය සමඟ යහපත් සබඳතා ඇති කරගෙන තිබේ. ඒ, සුන්නි මුස්ලිම් සාමාජිකයන් බහුතරයකගෙන් සමන්විත අයි.එස්.අයි.එස්. සංවිධානයට එරෙහිව සටන් කරද්දීය. මෙය ඇමෙරිකාවේ විරෝධයට හේතුවක් වී ඇත්තේ ඇමෙරිකාවත් ඉරානයත් අතර ඇයිහොඳයිකම් පළුදු වී ඇති බැවිනි.

ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කඩීමී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුව, ලබන 26 වැනිදා ධවල මන්දිරයේදී සිදුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS