ඉරාක පාර්ලිමේන්තුව අත්පත් කරගනී



නව අග්‍රාමාත්‍යවරයකු නම් කිරීමට, වැඩ බලන අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදීමි තීරණය කීරමත් සමඟ ඊට විරෝධය පළ කරමින් විපක්ෂ ක්‍රියාකාරීන් ද ඇතුළු සිවිල් වැසියෝ දහස් ගණනක් ඉරාක පාර්ලිමේන්තුවට කඩා වැදී එය අත්පත් කර ගත්හ.

ඉරාක පාර්ලිමේන්තුව පිහිටා ඇත්තේ බැග්ඩෑඩ් අගනුවර, ග්‍රීන්සෝන් (හරිත කලාපය) නමින් හැඳින්වෙන අධි ආරක්ෂිත කලාපයේය. ඉරාක රාජ්‍ය අමත්‍යාංශ, විදේශ තානාපති කාර්යාල ආදිය ද පිහිටා ඇත්තේ මෙම කලාපයේය.

ඉරාක ආරක්ෂක අංශ සාමාජිකයන් විරෝධතාකරුවන්ට හරස් වුවත්, විරෝධතාකරුවෝ එම ආරක්ෂක අංශ නිලධාරීන් ද පෙරළා දමමින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුළු වුණු බව මාධ්‍ය වාර්තා කර තිබේ.

පාර්ලිමේන්තු සභාගර්භයට පිවිසි විරෝධතාකරුවන් නටමින් ගී ගයමින්, මේස කතා නායකවරයාගේ අසුනේ අසුන් ගනිම්න්, කෑ කෝ ගසන ආකාරය දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් සේවා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ.

ඉරාකයේ දේශපාලන අර්බුදයක් පවතී. එම අර්බුදය හේතුවෙන් වැඩ බලන එනම් භාරකාර අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන්නේ මුස්තාෆා අල් කදීමි ය. නව අග්‍රාමාත්‍යවරයා ලෙස මුහම්මද් අල් සුදානීගේ නම යෝජනා කිරීමට අල් කදීමි තීරණය කළේය.

මෙය විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට නායකත්වය දෙන ඉරාකයේ ප්‍රධානතම ෂියා මුස්ලිම් ආගමික මෙන්ම දේශපාලන නායකයකු ද වන මුඛාඩා අල් සදාර්ගේ අප්‍රසාදයට හේතුවක් විය. මුහම්මද් අල් සුදානී දැඩි ඉරාන හිතවාදියකු බව ද පැවැසෙයි.

වැඩ බලන අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදීමි ගත් තීරණයට විරෝධය පළ කරමින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර මධ්‍යයේ කලහ කරමින් පාර්ලිමේන්තුවට කඩා වැදුණු ඉරාක වැසියන් බොහෝ දෙනා ආගමික නායක මුඛාඩා අල් සදාර්ගේ ආධාරකරුවන්ය.

පසුගිය වසරේ ඔක්තෝබරයේ ඉරාක මහ මැතිවරණය පැවැත්විණි. එහිදී ආගමික නායක මුඛාඩා අල් සදාර්ගේ පක්ෂය ජයග්‍රහණය කළත්, නව රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය හිමි නොවිණි. ඒ අනුව, මුස්තාෆා අල් කදීමි දිගටම වැඩ බලන අග්‍රාමාත්‍යවරයා ලෙස රැඳී සිටී. ආගමික නායක මුඛාඩා අල් සදාර් ඇමෙරිකන් විරෝධියෙකි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS