ඉරාක අගමැති ඇමෙරිකන් ජනපති හමුවෙයි



ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කඩීමී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක්, ධවල මන්දිරයේදී පැවැත්විණි.

ඉරාකයේ රැදී සිටින ඇමෙරිකන් හමුදා සෙබළුන් සම්බන්ධයෙන්, ඉරාක හමුදාවට සහාය දෙන ඉරාන හිතවාදී සටන්කාමීන් සම්බන්ධයෙන් මෙන්ම යළි හිස එසවීමට උත්සාහ ගන්නා බව පැවැසෙන අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණි.

ඉරාක අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට ගියේ ඇමෙරිකානු හමුදා සොල්දාදුවන් තව දුරටත් ඉරාකයේ රැදී සිටීම අවශ්‍ය නැති බව පෙන්වා දෙමිනි.

ඉරාකයත් ඉරානයත් අසල්වැසි රාජ්‍යයන් වන අතර, ඔවුහු කාලයක් පස මිතුරෝ වූහ. ඉරාකයේ සුන්නි මුස්ලිම් අයි.එස්.අයි.එස්. තර්ජන හමුවේ ඉරාකයේ ෂියා මුස්ලිම් රජයටත්, ඉරාක හමුදාවටත් සහාය දක්වන ෂියා මුස්ලිම් සටන්කාමීන්ට ඉරානයේ සහාය හිමිවුණු අතර, අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය ඉරාකයේ අඩපණ කරදැමීමට ද සහාය ලබා දුන්නේ ඉරානයයි.

ඉරානය ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් රාජ්‍යයයි. අද වනවිට ඉරාකයත් ඉරානයත් අතර යහපත් සබඳතා පවතී. මෙය ඇමෙරිකාවේ අප්‍රසාදයට හේතුවක් වී තිබේ.

ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කඩීමී සහ ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය විය. මුස්තාෆා අල් කඩීමී, ඉරාක අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ පසුගිය 2020 මැයි මාසයේ පැවැත්වුණු මැතිවරණයෙනි. මැතිවරණයට ඉදිරිපත් වීමට පෙර, මුස්තාෆා අල් කඩීමී ඉරාකයේ ජාතික බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

ඇෆ්ගනිස්තානයෙන් මෙන්ම ඉරාකයෙන් ඇමෙරිකන් හමුදා ඉවත් කර ගැනීම කෙරෙහි ජෝ බයිඩන්ගේ අවධානය යොමු වී ඇත. තමන් ඇමෙරිකන් හමුදා ඉරාකයෙන් ඉවත් කර ගන්නේ ඉරාකයේ ආරක්ෂාව සහතික කර ගැනීමට ඉරාක රජයටත් හමුදාවටත් හැකිනම් පමණක් යැයි ද ජනාධිපති බයිඩන් පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS