ඇෆ්ගන් ඉරාන දේශසීමා වසා දැමේ



ඇෆ්ගනිස්තානය සමඟ තිබෙන දේශසීමාව වසා දැමීමට ඉරානය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්තානය තුළ තලේබාන් සංවිධානයේ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවීමත් සමඟ ඉරාන ආරක්ෂක අංශ මෙම පියවර ගෙන ඇතැයි එම වාර්තාවල දැක්වේ.

ඉරානයේ සිස්තාන් සහ පාකිස්තානයේ බලුකිස්තාන් පළාත් ආසන්නයේ පිහිටි ඉරානයට අයත් මිලාක් ප්‍රදේශයේ පිහිටි දේශසීමා මුරපොළක් මෙසේ වසා දමා තිබේ. මෙම ප්‍රදේශය ඇෆ්ගනිස්තානයට මායිම් වන අතර රටවල් තුන දේශසීමා ආසන්නයේ පිහිටා තිබේ.

ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්නයේ ඇති වී තිබෙන ගැටුම් හේතුවෙන් මුරපොළ මෙසේ වසා දමන බව සිස්තාන් පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් පත් කර සිටින නියෝජ්‍ය ආණ්ඩුකාර මොහොම්මද් හාදි මරාෂි පැවැසීය.

තලේබාන් සංවිධානය ඉරාන සහ ඇෆ්ගනිස්තාන දේශසීමාවේ පිහිටි ප්‍රදේශ කිහිපයක බලය අල්ලා ගැනීමට මේ වනවිට සමත්ව ඇත.

තලේබාන් සටන්කාමීන් ඉරාන දේශසීමා ආරක්ෂකයන් සමඟ සාකච්ඡා කරන අයුරු දැක්වෙන විඩියෝ පට කිහිපයක් ද ඉකුත් දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබිණි.

මේ හේතුවෙන් තවත් දේශසීමා මුරපොළ කිහිපයක් ද වසා දැමීමට ඉරානය පියවර ගත් අතර මේ හේතුවෙන් ඉරාන ට්‍රක් රථ විශාල ප්‍රමාණයක් දේශසීමාවේ නැවතී ඇතැයි ද වාර්තා වේ.

ගැටුම් හේතුවෙන් වෙළෙඳ ප්‍රවාහන කටයුතු ද ඇණහිට ඇත. කෙසේ නමුත් ඇෆ්ගනිස්තානය සමඟ දේශසීමා වසා නැතැයි ද එ්ව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන්නේ යැයි ද ඉරාන බලධාරීහු සඳහන් කළහ.

(රොයිටර්)


RECOMMEND POSTS