ඇමෙරිකාව ඊශ්‍රායලය අතරේ නව ආරක්ෂක ගිවිසුමක්



ඉරානය ඔවුන්ගේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී, පරමාණු බෝම්බ නිපදවීම වැළැක්වීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය යාර් ලපිද් ඉරානයට එරෙහි නව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබූහ.

ආරක්ෂක ගිවිසුමට අත්සන් තබමින් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දුන්නේ, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන හරහා න්‍යෂ්ටික අවි (පරමාණු බෝම්බ) නිපදවන්නේ නම්, ඇමෙරිකාව සිය සම්පූර්ණ ශක්තිය යොදවා ඉරානය අඩපණ කරන බවටය.

ඊශ්‍රායලය වෙනුවෙන් ආරක්ෂක ගිවිසුමට අත්සන් තැබූ අන්තර්වාර අග්‍රාමාත්‍ය ලපිද් කියා සිටියේ ඉරානයට එරෙහිව ඇමෙරිකාව ගන්නා ඕනෑම ක්‍රියා මාර්ගයකට ඊශ්‍රායලය සහාය ලබා දෙන බවය. මැදපෙරදිග කලාපය අස්ථාවර කිරීමට හෝ ලෝකයට අනතුරක් කිරීමට හෝ තමන් ඉරානයට ඉඩ නොදෙන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ප්‍රතිඥා දුන්නේය.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයේ නිල සංචාරයකට පැමිණියේ ඊයේ (13) ය. ඇමෙරිකන් ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ඊශ්‍රායල අන්තර්වාර අග්‍රාමාත්‍ය යාර් ලපිද් සහ ඊශ්‍රායල ජනාධිපති අයිසෙක් හෙර්සොග් විසිනි.

රජයක් පිහිටුවීමට බහුතරය නොමැති බැවින් ඊශ්‍රායලය තව මාස කීපයකින් මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. එතෙක් අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ යාර් ලපිද් ය.

ඉරානය පවසන ආකාරයට, ඔවුන් ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කර ඇත්තේ, රටේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින්ය. ඉරානය, න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී, න්‍යෂ්ටික අවි (පරමාණු බෝම්බ) නිපදවන බවට ඊශ්‍රායලය චෝදනා නගයි.

බැරැක් ඔබාමා පාලන සමයේ, උප ජනාධිපති ධුරය හෙබවූයේ බයිඩන්ය. ඔබාමා, මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව සහ චීනය ද හවුල් කර ගනිමින් ඉරානය සමඟ සාකච්ඡා පවත්වා ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කර ගත්තේය.

ඒ අනුව, ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ අධීක්ෂණය යටතේ, කොන්දේසිවලට අනුව, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පවත්වා ගෙන යෑම සිදුවිය. එසේ වූයේ ඊශ්‍රායලයේ නොසතුට මධ්‍යයේය.

ඔබාමාගෙන් පසු ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්, කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය පළ කළ අතර, ඉරානය සමඟ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇති කරගෙන තිබුණු එකඟතාවයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීම සහ ඉරානයට යළි සම්බාධක පැනැවීම සිදුවිය. ට්‍රම්ප් මෙසේ කළේ ඊශ්‍රායලය සතුටු කිරීමේ ප්‍රධාන අරමුණින් යැයි ඉරානය චෝදනා නැගුවේය.

දැන් යළිත් වරක්, ඉරානය සමඟ එකඟතාවක් ඇති කිරීමට බයිඩන් පරිපාලනය සාකච්ඡා පැවැත්වීම සිදු කරයි. බයිඩන් සහ ලපිද් මැදිහත් වී ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අතර ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබීම ඒ අනුව සිදුවිය. බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූයේ 2021 වසරේදීය. ඔහු ඇමෙරිකන් ජනාධිපති ලෙස මැදපෙරදිග සංචාරයක් ආරම්භ කරමින් ඊශ්‍රායලයට ආ පළමු අවස්ථාව මෙයයි. ජනාධිපති බයිඩන් ඊශ්‍රායල සංචාරයෙන් පසු සෞදිය බලා යනු ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS