අසාද්ගේ තීරණයට අප්‍රසාදය



සිරියානු ජනාධිපතිවරණය ලබන මැයි 26 වැනිදා පැවැත්වීමට නියමිත බවත්, තමන් ඊට ඉදිරිපත් වන බවත් ධුරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් පවසා ඇත.

යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අසාද් ගත් තීරණය ඇමෙරිකාවථ මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ඇතුළු බටහිර රටවල් සිය අප්‍රසාදය පළ කර තිබේ.

සිරියානු සිවිල් යුද්ධය අතරතුරේ එරට පැවැත්වෙන දෙවැනි ජනාධිපතිවරණය මෙය වන අතර, සිරියාවේ සිවිල් යුද්ධයක් ඇතිවීමට හේතුව අසාද් දීර්ග කාලයක් තිස්සේ එරට ජනාධිපති ධුරයේ රැඳී සිටීමය.

සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වූයේ අසාද්ට ධුරයෙන් ඉවත් වන්නැයි බටහිර හිතවාදී විපක්ෂ දේශපාලන කණ්ඩායම් බල කිරීමත් සමඟය.

අසාද් සිරියාවේ ජනාධිපති ධුරයට පත් වූයේ ඔහුගේ පියා හාෆෙස්ගේ අභාවයෙන් පසු 2000 වසරේදීය.

එලැඹෙන ජනාධිපතිවරණයෙන් ද අසාද් ජයග්‍රහණය කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ජනාධිපතිවරණය ලබන මැයි 26 වැනිදා පැවැත්වෙනු ඇත.

මෙවර ජනාධිපතිවරණයේ දී විදේශගත සිරියානුවන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දෙන  බව ද පාර්ලිමේන්තු කතා නායක හමෝදා සබාග් පවසා තිබේ.

සිරියානු සිවිල් යුද්ධය හේතුවෙන් මිලියන ගණනක් සිවිල් වැසියන්ට උන්හිටිතැන් අහිමිවී ඇති අතර, ඔවුන්ට පසුගිය ජනාධිපතිවරණයේ දී පවා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත.

(රොයිටර්)


RECOMMEND POSTS