2022 පා පන්දු ලෝක කුසලානය



2022 FIFA පා පන්දු ලෝක කුසලාන තරගාවලිය, දෝහා කටාර් හි ආරම්භ වීමට නියමිතව ඇති අතර, මේ වනවිට තරගාවලියට සහභාගී වන කණ්ඩායම් මෙන්ම, පාපන්දු ලෝලීහු ද කටාරය බලා පැමිණෙමින් සිටිති.  පාපන්දු ක්‍රීඩාංගන සැකැසීමේ අවසන් කටයුතු මේ වනවිට ලහිලහියේ සිදුවෙමින් පවතින බව අල් ජසීරා පුවත් සේවය පවසයි.

මිලියන 3 ක ජනගහනයක් වෙසෙන කටාර් රාජ්‍යයේ ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. එපමණක් නොව, මැදපෙරදිග රාජ්‍යයක එසේත් නැතිනම් ගල්ෆ් කලාපීය රාජ්‍යයක පා පන්දු ලෝක කුසලානයක් පැවැත්වෙන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. පළමු ආරම්භක තරගය පැවත්වෙන්නේ ඉරිදා දිනයේය.

ඇමරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව තැබූ ලංසු පරදා 2010 දී FIFA හි විධායක සාමාජිකයින් 22 දෙනෙකුගෙන් යුත් ඡන්දය දිනා ගනිමින් කටාර් ලෝක කුසලානයේ අයිතිය ලබා ගත්තේය.

2022 ලෝක කුසලානය සඳහා සුදුස්සන් තේරීම වසර තුනකට පෙර ආරම්භ විය. කණ්ඩායම් වශයෙන් විවිධ මහාද්වීප වල කණ්ඩායම් ක්‍රීඩා කළ අතර ප්‍රමුඛ කණ්ඩායම් අවසන් මහා තරගය දක්වා ඉදිරියට ගියේය. අනෙක් කණ්ඩායම් අමතර තරග (play-offs) හරහා තම ස්ථාන ලබා ගත්හ.

2018 ලෝක කුසලානයේ ජයග්‍රාහකයන් වන ප්‍රංශය තරගයේ ඉදිරියට ආ නමුත් යුරෝපයේ ශූරයන් වන ඉතාලියට සුදුසුකම් ලැබීමට නොහැකි විය. අවසන් මහා තරගය සඳහා කණ්ඩායම් 32 කණ්ඩායම් හතරක් බැගින් වූ කාණ්ඩ අටකට බෙදන ලදී.

එකම මහාද්වීපයේ කණ්ඩායම් වෙන්ව තබා ඇති නමුත් යුරෝපීය රටවල්වල උපරිම වශයෙන් කණ්ඩායම් දෙකක් ඕනෑම කාණ්ඩයක සිටිය හැකිය. බ්‍රසීලය, එංගලන්තය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය තරගාවලිය ජයග්‍රහණය කරනු ඇති බවට ඔට්ටු තබන්නන් අතර ප්‍රචලිතව තිබේ.

කටාරය තෙල් හා ගෑස් අපනයනය නිසා ලෝකයේ ධනවත්ම රටවලින් එකක් ව තිබේ.

එය තරගාවලිය සඳහා ම විශේෂ ක්‍රීඩාංගණ හතක් ඉදිකර ඇති අතර අවසන් තරගය පැවැත්වීම සඳහා නව නගරයක් ද ඉදිකර ඇත.

නව හෝටල් 100 කට වැඩි ප්‍රමාණයක්, නව මෙට්‍රෝවක් සහ නව මාර්ග ද ඉදිවෙමින් පවතී.

අවසන් මහා තරගයට මිලියන 1.5 ක ජනතාවක් සහභාගි වනු ඇතැයි තරගාවලියේ සංවිධායක කමිටුව ඇස්තමේන්තු කර ඇත.

කටාර් යනු ගතානුගතික මුස්ලිම් රටක් වන අතර, රසිකයින්ට තම හැසිරීම පිළිබඳව සැලකිලිමත් වන ලෙසට අනතුරු අඟවා ඇත.

මත්පැන් පානය කිරීම සඳහා දැඩි සීමාවන් පණවා තිබේ. ඒවා සාමාන්‍යයෙන් මිලදී ගත හැක්කේ සුඛෝපභෝගී හෝටල්වල බාර් වලින් පමණි. බියර් පයින්ට් එකක මිල ඇමරිකානු ඩොලර් 13ක් (රු. 4,650) පමණ විය හැක.

කෙසේ වෙතත්, සංවිධායකයින් පවසන්නේ තරගාවලිය අතරතුර නම් කරන ලද රසික කලාපවල මත්පැන් අලෙවි කළ හැකි බවයි.  කෙසේ නමුත් මෙම අවසරය අවසන් පැය කීපයේ දී වෙනස් කිරීමට කටාර් බලධාරීන් තීරණය කළ බවත් එය පාපන්දු ලෝලීන්ට එල්ල වුණු අතුල් පහරක් බවත් ඩේලිමේල් පුවත් වෙබ් අඩවිය පැවැසීය.

(බීබීසී)


RECOMMEND POSTS