ඉරාන ජනපතිවරණය ඇරැඹේ



'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයේ සිවුවැනි රැල්ලෙන් බැටකන ඉරානයේ ජනාධිපතිවරණය අද (18) ආරම්භ විය.

ජනාධිපතිවරණය පැවැත්වූයේ ඉරානයේ අටවැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමටය. ඉරානයේ ජනාධිපතිවරයාගේ ධුර කාලය ද වසර 8 කි. කොරෝනා වසංගතය හේතුවෙන්, ජනාධිපතිවරණය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීමට කටයුතු කළ ද ඡන්ද ය ප්‍රකාශ කිරීමට ඡන්ද පොළට පැමිණියේ සීමිත  පිරිසක් යැයි මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ කොමිසමට අනුව, ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි ගණන මිලියන 59 කි.

ජනාධිපතිවරණය ආරම්භ කරමින් පළමුවෙන් ඡන්දය ප්‍රකාශ කළේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනීය. අද මධ්‍යම රාත්‍රිය තෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාවට අවස්ථාව ලැබේ.

'ඡන්දය ප්‍රකාශ කිරීම ඔබ සැමගේ වගකීමයි. ඉරානයේ අනාගතය වෙනුවෙන් ඔබේ වගකීමයි. හැකි ඉක්මණින් තම තමන්ගේ ඡන්ද පොළ වෙත ගොස් ඡන්දය දමන්න' යැයි අද (18) උදෑසන තෙහෙරාන් අගනුවරදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනි මාධ්‍ය හමුවේ පැවැසීය.

කොරෝනා වසංගතය හේතුවෙන් දරුණු ලෙස බැට කන මැදපෙරදිග රාජ්‍යය වන්නේ ඉරානයයි. ඉරානයේ වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 82,619 කි. මේ වනවිට ඉරානයෙන් වාර්තා වන කොවිඩ් 19' ආසාදිතයන් ගණන මිලියන 3 පසු කර තිබුණි.

ඉරානය 'කොවිඩ් 19' වසංගතයට මුහුණ දෙන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස පනවා ඇති සම්බාධක මධ්‍යයේය. ඉරාන වැසියන්ට ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් පවතී. ඖෂධ නොමැතිව ඔවුහු පීඩා විදිති. ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සියල්ල ඉහළ ගොස් ඇති බව ද වාර්තාවේ.

ඇමෙරිකා ජනාධිපති ලෙස ට්‍රම්ප් ඉරානයට සම්බාධක පැනැවීමක් කළේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බවට චෝදනා කරමිනි. 2015 දී ඇති කරගත් න්‍යෂ්ටික එකඟතාවයෙන් ද ට්‍රම්ප් ඇමෙරිකාව ඉවත් කර ගත්තේය.

ඉරානයේ නව ජනාධිපතිවරයාට ඇති ලොකුම අභියෝගය වනු ඇත්තේ වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සමඟ සාකච්ඡා පවත්වා යළි එම න්‍යෂ්ටික වැඩසටහනට ඇමෙරිකාව සම්බන්ධ කර ගැනීමය. එසේ වුවහොත්, ඇමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් වීමක් සිදුවෙයි. ජෝ බයිඩන් පරිපාලනය ද පවසා ඇත්තේ යළි ඇමෙරිකාව එම න්‍යෂ්ටික එකඟතාවට ඇතුළත් කිරීමට සූදානම් බවය. එපමණක් නොව, 'කොවිඩ් 19' වසංගතය හමුවේ කඩා වැටුණු ආර්ථිකය පණ ගැන්වීම ඉරාන නව ජනාධිපතිවරයාගේ ප්‍රධානතම අභියෝගය වනු ඇත.

ඉරානයේ මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට අනුමැතිය ලබා දෙන්නේ ගාඩියන් කවුන්සිලයයි. ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ලෙස 6,000 කට ආසන්න පිරිසක් ඔවුන්ගේ නාම යෝජනා ඉදිරිපත් කර තිබුණු නමුත්, අනුමැතිය ලැබුණේ එයින් 7 දෙනකුට පමණි. එම හත් දෙනා අතරින් අවසානයේ කැපී පෙනුණේ අපේක්ෂකන් සිවු දෙනකු පමණි. ඒ අතරින් ද ඉදිරියට පැමිණෙමින් මීළඟ ජනාධිපතිවරයා වනු ඇතැයි විශ්වාස කෙරෙන්නේ ඊබ්‍රහීම් රායිසීය.

ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයකුට සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමට නොහැකි වුවහොත් වැඩිම ඡන්ද ලබා ගන්නා අපේක්ෂකයන් දෙදෙනා අතරේ දෙවැනි වටයක් ද පැවැත්වෙනු ඇත.

60 හැවිරිදි ඊබ්‍රහීම් රායිසී ඉරානයේ අගවිනිසුරුවරයාය. මීට පෙර 2017 වසරේ පැවැති ජනාධිපතිවරණයට ද රායිසී ඉදිරිපත් වූ නමුත්, හසන් රොව්හානී හමුවේ පරාජයට පත් විය. අලී කොමේනිගෙන් පසු ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා වීමට සුදුස්සකු බව පැවැසනේනේ ද ඊබ්‍රහීම් රායිසී ය. ඉරානයේ මීට පෙර පැවැති ජනාධිපතිවරණ සඳහා ප්‍රතිසංස්කරණවාදී මතධාරීන් ඉදිරිපත් වුණු නමුත්, මෙවර ජනාධිපතිවරණය සඳහා ගාඩියන් කවුන්සිලයේ අනුමැතිය ප්‍රතිසංස්කරණවාදීන්ට හිමිවී නැත.

ඊබ්‍රහීම් රායිසී සමඟ අවසන් වටයට ආ සෙසු අපේක්ෂකයන් වන්නේ අමීර් හුසෙයි හෂීමි, මොෂේන් රෙසායි සහ අබ්දුල්නසාර් හෙමාතී ය.

50 හැවිරිදි අමීර් හුසෙයි හෂීමි, ඉරාන ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට සහභාගී වන ළාබාලතම තැනැත්තාය. දැඩි මතධාරියකු වන මොහු වෛද්‍යවරයෙකි. මොෂේන් රෙසායි හමුදා නිලධාරියෙකි. වසර 16 ක් ඉරාන විප්ලවීය හමුදාවේ සේනාධිනායකයා ලෙස කටයුතු කර ඇත.

අබ්දුල්නසාර් හෙමාතී ඉරාන මහ බැංකුවේ හිටපු අධිපතිවරයාය. ආර්ථික විශේෂඥයකු වන මොහු මාධ්‍යවේදියකු ලෙස රැකියාන කර ඇත.

ඉරානයේ බලගතුම තැනැත්තා වන්නේ ඉරාන උත්තරීතර නායකයාය.

1989 වසරේ සිට ඉරාන උත්තරීතර නායකයා ලෙස එම තනතුර හොබවන්නේ අයතුල්ලා අලී කොමේනීය. විදේශ ප්‍රතිපත්ති, රටේ නීති පද්ධතිය, රාජ්‍ය මාධ්‍ය සහ විප්ලවීය හමුදාව ද පාලනය වන්නේ උත්තරීතර නායකයා යටතේය.

උත්තරීතර නායකයා තෝරා ගැනීම සිදුවන්නේ විශේෂඥයන්ගේ මණ්ඩලය නමින් හැඳින්වෙන ඉස්ලාමීය නීතිය සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති කණ්ඩායමකිනි. මෙම මණ්ඩලයට සාමාජිකයෝ 88 දෙනෙක් අයත් වෙති. ඊට සාමාජිකයන් පත් කර ගැනීම සෑම අට වසරකට වරක්ම සිදුවෙයි.

ඉරාන ජනාධිපතිවරයා සිටින්නේ, ඉරාන උත්තරීතර නායකයාට පහළිනි. ඉරාන රජයට නායකත්වය දෙන්නේ ජනාධිපතිවරයාය. ඔහු දෙස් විදෙස් ප්‍රතිපත්ති හඳුන්වා දෙමින්, ඒවා ක්‍රියාත්මක කරන්නේ උත්තරීතර නායකයා සමඟ සාකච්ඡා කර ඊට අනුමැතිය ලැබෙන්නේ නම් පමණි. ඉරාන පාර්ලිමේන්තුව ද උත්තරීතර නායකයාට යටත් වෙයි. ඔවුන් ගන්නා සියලු තීන්දු තීරණ ද උත්තරීතර නායකයාගේ අනුමැතිය අනුව පමණක් සිදුවෙයි.

ඉරානයේ මැතිවරණ පැවැත්වීම සිදුවන්නේ ගාඩියන් කවුන්සිලයට අනුවය. සාමාජිකයන් 12 දෙනකුගෙන් සැදුම්ලත් මෙම කවුන්සිලය ද ඇත්තේ උත්තරීතර නායකයා යටතේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS

RELATED POSTS