ඇමෙරිකා-ඉරාන සිරකරු හුවමාරුවක්



ඇමෙරිකාවත් ඉරානයත් අතරේ සිරකරු හුවමාරුවක් සිදුවිය. ඔත්තු බැලීමේ චෝදනාවලට වරදකරුවන් වී, ඉරානයේ බන්ධනාගාරගතව සිටි ඉරාන ඇමෙරිකන් ජාතිකයන් පස් දෙනකු වෙනුවෙන්, ඇමෙරිකාව එරට අත්අඩංගුවේ සිටි ඉරාන ජාතිකයන් පස් දෙනකු නිදහස් කළ බව විදෙස් මාධ්‍ය පැහැදිලි කර තිබේ. සිරකරු හුවමාරුව සිදුවූයේ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙනි.

නිදහස ලැබූ ඇමෙරිකා ඉරාන ජාතිකයන් වන්නේ 51 හැවිරිදි ව්‍යාපාරික සියාමක් නමාසි, 59 හැවිරිදි ව්‍යාපාරික එමාඞ් ෂර්ගී, 67 හැවිරිදි පරිසරවේදියකු වන මොරාඞ් ටහ්බාස් ය. මොරාඞ් ටහ්බාස් ඇමෙරිකන් ඉරාන පුරවැසියකු පමණක් නොව, ඔහු බි්‍රතාන්‍ය පුරවැසියකු ද වෙයි. මොවුහු තිදෙනා ඇමෙරිකාව වෙනුවෙන් ඉරානයේ ඔත්තු බැලීම් කළේ යැයි චෝදනා ලැබ ඉරානයේ තෙහෙරාන් අගනුවර එවින් බන්ධනාගාරයේ අට වසරක් තිස්සේ සිරගතව සිටියහ. ඊට අමතරව අනන්‍යතාව හෙලි නොකළ තවත් දෙදෙනකු සිටින අතර ඔවුන්ගෙන් එක් අයකු කාන්තාවක බව ද පැවැසෙයි.

ඇමෙරිකන් අත්අඩංගුවේ සිට නිදහස ලැබුවේ රේසා සර්හාන්ග්පූර්, කම්බිස් අටාර් කෂානී, කවේහ් ඇෆ්රසියාබි, මෙහ්ර්දාද් අන්සාරි සහ අමීන් අහස්සාද්ය. මෙම පස් දෙනාගෙන් තිදෙනකු ආපසු ඉරානයට යෑම ප්‍රතික්ෂේප කළ අතර, ඔවුන්ගෙන් දෙදෙනකු ඇමෙරිකාවේ නතරවීමට තීරණය කළේ යැයි පැවැසෙයි. එම පිරිස අතරින් එක් අයකු වෙනත් රටකට යෑමට තීරණය කළේය. නිදහස ලබා යළි ඉරානයට පැමිණියේ නිදහස ලැබූ සිරකරුවන් දෙදෙනකු පමණි.

නිදහස ලැබූ ඇමෙරිකා සිරකරුවන්, විශේෂ ගුවන් යානයකින් දෝහා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට රැගෙන එන ලදී. ඇමෙරිකන් රජය විශේෂ ගුවන් යානයක් යවා එම පිරිස ගෙන්වා ගත්තේ ඉන්පසුවය. ඇමෙරිකාවේ සිට නිදහස ලැබූ පස් දෙනාගෙන් ඉරානයට ආ ඉරාන ජාතිකයන් දෙදෙනා ද ඉරානය බලා ගියේ දෝහා කටාර් හරහාය.

සිරකරු හුවමාරුවට අමතරව, ඇමෙරිකාවේ බලපෑම මත, දකුණු කොරියාවේදී රඳවා තැබුණු ඉරානයට අයත්, ඇමෙරිකන් ඩොලර් බිලියන 6 ක වත්කම්, ආපසු ඉරානයට ලබා දීමට ද ඇමෙරිකන් රජය කැමැත්ත පළ කර තිබුණි. ඉරාන මහ බැංකු අධිපති මොහොමද් රේසා ෆර්සීන් ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියේ එම මුදල් ලැබුණු බවය.

ඇමෙරිකාව සහ ඉරානය අතර ඉදිරිවාදිකම් පවතින්නේ ඉරානයේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන නිසාය. 2015 වසරේ දී, ඔබාමා පරිපාලනය පැවැති සමයේ ඇමෙරිකාව තවත් බටහිර රටවල් ද හවුල් කර ගනිමින් ඉරානය සමඟ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගත්තේය. ඒ අනුව, ඇමෙරිකාව ඉරානයට පනවා තිබූ සම්බාධක බොහොමයක් ඉවත් කළේය.

කෙසේ නමුත් ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය 2018 දී ඇමෙරිකාව, ඉරානය සමඟ ඇතිකරගෙන තිබුණු එම ගිවිසුමෙන් ඉවත් කර ගත්තේය. ඒ, ඉරානය එම ගිවිසුම කඩ කර ඇතැයි පෙන්වා දෙමිනි. ඩොනල්ඞ් ට්‍රම්ප් එසේ කළේ ඊශ්‍රායලය සතුටු කිරීමටය. ඉරානයත් ඊශ්‍රායලයත් අතරේ එදිරිවාදිකම් පවතී. මැදපෙරදිග කලාපයේ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නේ ඉරානය යැයි ඊශ්‍රායලය සැමවිටම චෝදනා නගයි.

ඉරානය සමඟ එකඟත්වයක් ඇතිකර ගනිමින්, ඇමෙරිකාවේ ඉරාන සිරකරුවන් ඉරානයට දී, ඉරානයෙන් ඇමෙරිකන් සිරකරුවන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්, ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන්ගේ දැඩි විරෝධය සහ අප්‍රසාදය එල්ල වී ඇත.

රිපබ්ලිකන්වරුන්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂ රජය විවේචනය කරමින් පවසා ඇත්තේ ඉරානය ඉදිරියටත්, ඔත්තු බැලීමේ චෝදනා මත ඇමෙරිකන් ඉරාන වැසියන් අත්ඩංගුවට ගනිමින්, පසුව ඇමෙරිකාවේ ඉරාන සිරකරුවන් මුදා ගැනීමට ඔවුන් නිදහස් කිරීමට යොමු වනු ඇති බවය.


RECOMMEND POSTS