සෞදි කුමරු ප්‍රංශයේ

සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ප්‍රංශයේ දෙදින නිල සංචාරයක නිරත වෙයි. කුමරු, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් හමුවී, ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. ඒ, පැරිස් අගනුවර ඉලීසේ ප්‍රංශ ජනාධිපති මන්දිරයේදීය.
පසුගිය ඉරිදා දිනයේ ඊ-ස්පෝර්ට්ස් ලෝක කුසලාන තරගාවලියේ සමාප්ති උළෙල ප්‍රංශයේ දී පැවැත්වුණු අතර, කුමරු ඊට එක් වෙමින්, මෙම සංචාරය ආරම්භ කළේය. 'ඊ-ස්පෝර්ට්ස් ලෝක කුසලාන' තරගාවලියක් සෞදි අරාබියෙන් පිට, විදේශයක පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.
ඊ-ස්පෝර්ට්ස් ලෝක කුසලානය යනු ලොව පුරා ප්‍රමුඛ පෙළේ වීඩියෝ ක්‍රීඩකයන් සහ විද්‍යුත් ක්‍රීඩා සමාජ එකම වේදිකාවකට එක් කරමින් පැවැත්වෙන ලොව විශාලතම වාර්ෂික විද්‍යුත් ක්‍රීඩා තරගාවලි මාලාවය.
මැක්රොන් හමුවී සාකච්ඡා පවත්වා, දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට සෞදි කුමරු සමත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි. දෙරට අතර සෞඛ්‍ය, ප්‍රවාහන සහ බලශක්ති ක්ෂේත්‍රවලට අදාළ වැදගත් ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබීම ද සිදුවිය.
කලාපීය ආරක්ෂාව සහ ආර්ථික සබඳතා කෙරෙහි ද නායකයන්ගේ විශේෂ අවධානය යොමු වූ අතර, විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය මඟහැර තෙල් සහ බලශක්ති ප්‍රවාහනය කළ හැකි විකල්ප නළ මාර්ග සහ නව වරාය ජාල නිර්මාණය කිරීම කෙරෙහි දීර්ඝ ලෙස නායකයෝ දෙදෙනා සාකච්ඡා පැවැත්වූහ.
ඉකුත් පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ඇමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් හේතුවෙන් ලෝක තෙල් සැපයුමෙන් සියයට 20 ක් ප්‍රවාහනය වන හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, පෙර පැවති ඩොලර් 66 සීමාවේ සිටි බොරතෙල් බැරලයක මිල ඩොලර් 119 දක්වා ඉහළ ගොස් මේ වන විට ඩොලර් 93 සීමාවේ පවතී.

