සෙලෙන්ස්කී ජෝර්දානයේ



ගල්ෆ් කලාපයේ ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ජෝර්දානයට පැමිණියේය.

ඇමෙරිකා, ඊශ්‍රායල, ඉරාන යුද ගැටුම මධ්‍යයේ,  තම රටේ ආරක්ෂාව සහ යුද අවශ්‍යතා වෙනුවෙන් සහාය ලබා ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව පැවැසෙයි.

සිය ජෝර්දාන සංචාරය ගැන එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින්,  ජනාධිපති සෙලෙන්ස්කි සඳහන් කළේ, තමන් ජෝර්දානය වෙත පැමිණි බවත්, එරට රාජ්‍ය නායකයන් සමග වැදගත් සාකච්ඡා කිහිපයක් පැවැත්වූ බවත්ය.

“අද දින ජෝර්දානයේදී. ආරක්ෂාව අපගේ ප්‍රමුඛතම අභියෝගයයි. ඒ වෙනුවෙන් සියලු හවුල්කාර රටවල් උපරිම කැපවීමකින් ක්‍රියා කිරීම ඉතා වැදගත්” යැයි  ජනපති සෙලෙන්ස්කී පැවැසීය.

රුසියා හමුදා ආක්‍රමණය හේතුවෙන්, යුක්රේනය තවමත් දැඩි ආර්ථික අර්බුදයකට සහ අයවැය හිඟයකට මුහුණ දෙමින් සිටී. දේශීයව අවි ආයුද නිෂ්පාදනය පවත්වාගෙන යෑමට සහ යුද ප්‍රයත්නය සඳහා අරමුදල් සපයා ගැනීමට යුක්රේනය ගල්ෆ් කලාපයේ මිත්‍ර රටවල සහාය අපේක්ෂා කරයි.

මීට පෙර කටාර්, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ගිවිසුම්වලට එළඹීමට යුක්රේනය සමත් වී සිටී. සෙලෙන්ස්කී සිය මැදපෙරදිග සංචාරය ආරම්භ කළේ සෞදියෙනි. 

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේනය රුසියාවට එරෙහිව භාවිත කරන්නේ එරට දේශීය වශයෙන් නිෂ්පාදනය කරන නියමුවන් රහිත ඩ්‍රෝන යානාය. ඇමෙරිකා, ඊශ්‍රායල සහ ඉරාන යුද්ධයේ දී, කලාපීය අරාබි රටවලට ඉරානයෙන් එල්ල වන ප්‍රහාර වළක්වා ගැනීමට එම ඩ්‍රෝන ප්‍රයෝජනවත් බව සෙලෙන්ස්කී පෙන්වා දී ඇත. 

යුක්රේනයේ ඩ්‍රෝන මර්දන තාක්ෂණ විශේෂඥයන් මෙම ගල්ෆ් අරාබි රටවලට සහාය ලබා දීමට යොදවා ඇතැයි ද පැවැසෙයි. 
සාකච්ඡාවලින් අනතුරුව යුක්රේන විශේෂඥ කණ්ඩායමක් ජෝර්දානයේද  ස්ථානගත කිරීමට තීරණය කළ බව ජ්‍යෙෂ්ඨ යුක්රේන  නිලධාරියකු පවසා ඇත. ඩ්‍රෝන යානා මර්දනය කිරීම සඳහා අඩු වියදම් ඩ්‍රෝන ප්‍රහාරක යානා, ඉලෙක්ට්‍රොනික බාධා කිරීමේ උපකරණ  සහ ප්‍රහාරක තුවක්කු ආශ්‍රිත සංකීර්ණ තාක්ෂණයක් යුක්රේනය භාවිතයට ගනී.

මේ අතර, රුසියාවේ ආදායම් මාර්ග අවහිර කිරීමේ අරමුණින් රුසියානු තෙල් පිරිපහදු, ඉන්ධන ගබඩා සහ වරායන් ඉලක්ක කර ගනිමින් යුක්රේනය ඔවුන්ගේ ප්‍රතිප්‍රහාර වැඩි කර ඇතැයි පැවැසෙයි.

මෑතකදී රුසියාවේ බෝල්ටික් මුහුදු තීරයේ පිහිටි උස්ට්-ලුගා වරාය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ගින්නක් හටගත්තේය. ප්‍රාදේශීය ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් ඩ්‍රොස්ඩෙන්කෝ  පැවැසුවේ එදින රාත්‍රියේ ඩ්‍රෝන යානා 36ක් රුසියානු හමුදා විසින් විනාශ කළ බවය. එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් වරායට හානි සිදුවුවත්, ජීවිත හානි සිදු නොවුණු බව ප්‍රාදේශීය ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් ඩ්‍රොස්ඩෙන්කෝ වැඩිදුරටත් පවසා තිබේ.


RECOMMEND POSTS