නැව් මුදා ගන්න අලුත් මෙහෙයුමක්



ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ තර්ජන ගර්ජන හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධියේ සිරවුණු විදෙස් නෞකා ආරක්ෂිතව මුදාගැනීම සඳහා ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් නමින් නව මෙහෙයුමක් ආරම්භ කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මෙම මෙහෙයුමට කිසියම් හෝ පාර්ශවයකින් බාධා එල්ල වුවහොත් එයට දැඩි ලෙස බලය යොදා පිළිතුරු දෙන බවට ද ඇමෙරිකන් ජනාධිපතිවරයා අනතුරු ඇඟවීමක් ද කර ඇත. 

පසුගිය පෙබරවාරි මාසයේ සිට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් මෙම මුහුදු මාර්ගයේ ගමනාගමනය සීමා කරනු ලැබූ අතර, ඇමෙරිකාව ඊට ප්‍රතිචාර දක්වමින්, හෝමූස් පිවිසුම අවහිර කර ඇත. ඒ, ඉරාන නෞකාවලට හෝමූස් හරහා ඉරාන වරායන් වෙත පිවිසීමට බාධා කරමිණි.

මේ වනවිට පවතින යුද තත්ත්වය පිළිබඳව ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය තුළ ද මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයා යුද්ධය සඳහා කොංග්‍රස් අනුමැතිය ලබාගත යුතු දින 60ක කාලසීමාව ඉක්මවා ගොස් ඇති බවට විවේචන එල්ල වුවද, අප්‍රේල් 8 වැනිදා සිට ක්‍රියාත්මක වන සටන් විරාමය හේතුවෙන් එවැනි අනුමැතියක අවශ්‍යතාවයක් පැන නොනඟින බව ට්‍රම්ප්ගේ ස්ථාවරයයි. 

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේම සෙනෙට් සභිකයන් පවා ඉල්ලා සිටින්නේ මෙම වියදම් අධික යුද්ධය වහාම අවසන් කර හමුදා ආපසු කැඳවන ලෙසය.

 


RECOMMEND POSTS