නායක මුජ්ටාබා අවමගුලට නෑ

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී පහර දෙද්දී, ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණු ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනීගේ අවමංගල කටයුතු ලක්ෂ ගණනකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි.
උත්තරීතර නායකයාගේ අවමංගල්‍ය වෙනුවෙන් ඉරානයේ තෙහෙරාන් අගනුවරට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති අතර, ඉරාන ගුවන් සීමාව ද වසා දමා ඇත. සතියක් තිස්සේ පැවැත්වෙන අමංගල්‍යයේ දෙවැනි දිනයේඅයතුල්ලා අලී කමේනීගේ පුතුන් තිදෙනකු ද කමේනිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටි නමුත්, කමේනෙිගේ දෙවැනි පුත්‍රයා මෙන්ම වත්මන් ඉරාන උත්තරීතර නායකයා ද වන මුජ්ටාබා කමේනී ඒ අතර නොසිටි බව පැවැසෙයි.
කමේනීට අවසන් ගෞරව දැක්වීමට පැමිණියේ මුස්තාෆා, මෙයිසාම් සහ මසූඩ් කමේනී යන පුතුන් තිදෙනාය. ඔවුන් ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
කමේනිගේ දේහය තෙහෙරාන් නුවර මොසෙලා දේවස්ථානයට අයත් විශාල ශාලාවේ තැන්පත් කර තිබියදී, ඊට ගෞරව දැක්වීමට, ලක්ෂ ගණනින් ඉරාන වැසියන් පමණක් නොව, විදෙස් රාජ්‍ය නායයකයන් සහ නියෝජිතයන් රැසක් ද තෙහෙරාන් අගනුවරට පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වූහ. පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ද ඒ අතර සිටයේය. ඉන්දීය රජය නියෝජනය කරමින් නියෝජිතයෝ කණ්ඩායමක් ද තෙහෙරානයට ගොස් කමේනීට අවසන් ගෞරව දැක්වූහ.
කමේනී ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී ඉරානයට ප්‍රහාර එල්ල කරද්දීය. කමේනී පමණක් නොව, ඔහුගේ වැඩිමල් පුත්‍රයා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ කුඩා දරුවන් ද ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණු අතර, තෙහෙරාන් අගනුවර පැවැති ආගමික උත්සවයේ දී කමේනිගේ දේහය අසල ඔවුන්ගේ දේහය ද ගෞරව සඳහා තැන්පත් කර තිබුණි.
එම ප්‍රහාරයෙන් මුජ්ටාබාගේ බිරිඳ ද ජීවිතක්ෂයට පත්වූවාය. මුජ්ටාබා බරපතල ලෙස තුවාල ලබා දිවි ගලවා ගත් බව පැවැසෙයි. ඇමෙරිකා සහ ඊශ්‍රායල බුද්ධි අංශ පවසන්නේ මුජ්ටාබා කමේනී දරුණු ලෙස තුවාල ලබා සිටින බවය.
අප්‍රේල් 28 වැනිදා ජීවිතක්ෂයට පත්වුණු කමේනීගේ අවසන් කටයුතු මාස 4 කට පමා වූයේ ඇමෙරිකාව සහ ඉරානය අතරේ පැවැති යුද උණුසුම හේතුවෙනි.
සතියක් තිස්සේ පැවැත්වෙන ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කාමේනීගේ අවමංගල්‍යය හේතුවෙන් දෙරට අතර පැවැත්වෙන සාකච්ඡා තාවකාලිකව නතර කිරීමට තමන් පියවර ගත් බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත.
ඇමෙරිකාව සහ ඉරානය මේවනවිට ගැටුම් නැවැත්වීමට අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර, ට්‍රම්ප් පවසන්නේ, පවතින ගැටලු නිරාකරණය කරගනිමින් එකඟතාවකට පැමිණීමට ඉරානය දැඩි උනන්දුවකින් පසුවන බවය.
කමේනිගේ දේහය දින 3ක් පුරා ටෙහෙරාන් නුවර තැන්පත් කර තැබීමෙන් අනතුරුව, ඉරානයේ ෂියා දහමේ ශුද්ධ වූ නගරයක් වන කොම් නුවර වෙත දේහය රැගෙන යෑමට නියමිතය.
ඉන්පසු, ඉරාකයේ පිහිටි ෂියා මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ නගර වන නජාෆ් සහ කර්බාලා වෙත දේහය රැගෙන ගොස්, කමේනිගේ උපන් නගරය මෙන්ම ෂියා මුස්ලිම්වරුන්ගේ ආධ්‍යාත්මික අගනුවර ලෙස සැලකෙන මෂාඩ් නුවර ඉමාම් රේසා දේවස්ථානයේදී දේහය භූමදානය කෙරනු ඇත.

