තුර්කි ජනාධිපතිවරයා ජර්මනියට දොස් කියයි



ඊශ්‍රායලය ගාසා තීරයට පහර දෙමින්, පලස්තීනුවන් අමුඅමුවේ ඝාතනය කරමින්, ජන සංහාර සිදු කරන බවටත්, ජර්මනිය ඒ සම්බන්ධයන් නිහඬව සිටීම ගැටලුවක් බවත් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් චෝදනා නගයි. 

තුර්කි ජනාධිපති එර්දොවාන්, මෙසේ චෝදනා කළේ තුර්කියේ අන්කාරා නුවරදී ජර්මන් චාන්සලර් ෆෙඩ්රික් මාර්ස් හමුවී සාකච්ඡා කරමිණි. ඊශ්‍රායලය සතුව න්‍යෂ්ටික අවි තිබීම පවා ගාසා පලස්තීනුවන්ගේ ජීවිතවලට තර්ජනයක් යැයි ද තුර්කි ජනාධිපතිවරයා, ජර්මන් චාන්සලර්වරයා හමුවේ පැහැදිලි කළේය.

මේ වනවිට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ අණ පරිදි, ඊශ්‍රායලය යළිත් වරක් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන ඇත. ඒ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සකස් කර දී ක්‍රියාවට නැංවූ සටන් විරාම සාම ගිවිසුම උල්ලංගනය කරමිනි. ඊශ්‍රායලය යළි ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන්නේ සටන් විරාම සාම ගිවිසුම හමාස්  සටන්කාමීන් විසින් කඩ කරනු ලැබුවේ යැයි චෝදනා නගමිනි.


RECOMMEND POSTS