ඉරාන ජනාධිපති හමුවෙලා



දැඩි සම්බාධක පනවා තිබුණත් ඉරානය මේ වනවිට විද්‍යාව හා තාක්ෂණය යන ක්ෂේත්‍රයන් හි සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත්, ලබා ගත් එම ‘ප්‍රගතිය’ ශ්‍රී ලංකාව වැනි මිත්‍රශීලි රටවල් සමඟ බෙදා ගැනීමට සූදානම් බවත් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමුවුණු අවස්ථාවේදී  පවසා තිබේ.

ශ්‍රී ලංකාවට ඉදිරියට ගමන් කිරීමට විශාල හැකියාවක් තිබෙන බවත් අනෙක් රටවල්වලටද යටත් විජිත ලෙස නොසිට තමන්ගේ වාසිය සඳහා උදව්වට පැමිණෙන රටවල් වලින් ඈත් වී ඉදිරියට යා හැකි බවත් ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාව සහ ඉරානය අතර වර්ධනය වෙමින් පවතින සබඳතා ඉරාන ජනාධිපතිවරයා පැසසුමට ලක් කළ බව ද පැවැසෙයි.

මේ අතර, කලාපීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සහයෝගීත්වය ඇති කරගැනීම සඳහා තමන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ සාකච්ඡා කළ බව ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් මහතා ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී පැවැසුවේය. වෙළඳ, සංචාරක, විද්‍යා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන් හි දෙරටේ හවුල්කාරීත්වය පුළුල් කර ගැනීමට එහිදී සාකච්ඡා කෙරුණු බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එම සාකච්ඡාවලදී දැනටමත් අත්සන් තබා ඇති ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වූ බවත් අලි සබ්රි මහතාගේ ඉරාන සංචාරය දෙරට අතර ඇති සබඳතා වල හැරවුම් ලක්ෂයක් බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී පවසා ඇත. එසේම ඉදිරියේදී දෙරට අතර සිරකරුවන් හුවමාරුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බව අබ්දුල්ලාහියන් මහතා පැහැදිලි කර තිබේ.


RECOMMEND POSTS