ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

ඉරානයට ඇමෙරිකන් හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඒ, දකුණු ඉරානයේ ඇති ඉරාන විප්ලවීය හමුදාවට අයත් මිසයිල කඳවුරු සහ ඉරාන නාවික හමුදාව හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ ඇතිරීමට යොදා ගන්නා කුඩා නාවික යාත්‍රා අංගන ඉලක්ක කර ගනිමිනි.
ඉරාන හමුදාවෙන් එල්ල වන තර්ජන සැලකිල්ලට ගෙන, ආත්මාරක්ෂක උපක්‍රමයක් සේ සලකා එම ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකා හමුදාව පැහැදිලි කර තිබේ.
ඇමෙරිකන් හමුදාව මෙම ප්‍රාහරය එල්ල කළේ, ඇමෙරිකාව සහ ඉරානය අතරේ සටන් විරාමයක් පවතින අවස්ථාවක සහ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් කටාර් රාජ්‍යයේ සාම සාකච්ඡා පැවැත්වෙද්දී යැයි ද පැවැසෙයි.
ඇමෙරිකා ජනාධිපති ඩෙනල්ඩ් ට්‍රම්ප්, එම සටන් විරාමය තවත් දින 60 කට දීර්ඝ කළේ ඇමෙරිකාව සමග පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට ඉරානයට අවස්ථාව දෙමිණි.
එසේ සටන් විරාමය දීර්ඝ කළේ ඉරානය සමග සාකච්ඡාවල නියැළෙන සිය නියෝජිත කණ්ඩායමට ට්‍රම්ප් පවසා ඇත්තේ, ඉරානය සමඟ එකඟතාවකට පැමිණීමට හදිසි නොවන ලෙස යැයි ද විදෙස් මාධ්‍ය පවසා තිබේ.
එසේ වුවත්, ඇමෙරිකාව සහ ඉරානය අතර නව ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කිරීමට ආසන්න තත්ත්වයක පවතින බවත්, නෛතික මට්ටමින් එකඟත්වයක් ඇති කර ගැනීමට ඔන්න මෙන්න බවත් ට්‍රම්ප් පැහැදිලි කර තිබේ. අර්බුදයට ලක්වුණු ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ කටයුතු යළි සුපුරුදු ලෙස පවත්වාගෙන යෑම කෙරෙහි ඇමෙරිකන් සහ ඉරාන නියෝජිතයන් අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන් වන බව ද පැවැසෙයි.
මේ අතර, ඉරානය සමග දැනට පවතින සාකච්ඡාවලට සාපේක්ෂව මැදපෙරදිග කලාපය තුළ වඩාත් පුළුල් හා ස්ථාවර එකඟතාවක් ඇති කරගැනීම සඳහා සෞදි අරාබිය, කටාර් රාජ්‍යය, පකිස්තානය, තුර්කිය, ඊජිප්තුව සහ ජෝර්දානය යන රටවල් ද වහාම ‘ඒබ්‍රහම් ගිවිසුම’ සඳහා හවුල් විය යුතු බව ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය දැනටමත් ඒබ්‍රහම් ගිවිසුමේ සාමාජිකයන් වන අතර, කලාපීය ආරක්ෂාව සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් නව රටවල් හය ද ඊට සම්බන්ධ කරගැනීම ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රධානතම උපායමාර්ගික ඉලක්කයක් යැයි පැවැසෙයි.
ඉරානය සමග ඇති කරගැනීමට නියමිත නව ගිවිසුම, කලාපයේ අනෙකුත් ප්‍රබල මුස්ලිම් සහ අරාබි රාජ්‍යයන් ද එකම රාමුවකට ගෙන එන පුළුල් දේශපාලන ස්ථාවරත්වයක කොටසක් විය යුතු බව ට්‍රම්ප්ගේ අදහස යැයි ද පැවැසෙයි.
‘ඒබ්‍රහම් ගිවිසුම‘ යනු මැදපෙරදිග කලාපයේ සාමය ඇති කිරීම සඳහා ඇති කරගත් ඓතිහාසික රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම් මාලාවකි. මෙමගින් සිදුවන්නේ, ඊශ්‍රායලය සහ අරාබි මුස්ලිම් රටවල් කිහිපයක් අතර වසර ගණනාවක් පැවති සතුරුකම් අවසන් කර, එකිනෙකා නිල වශයෙන් පිළිගෙන මිත්‍රත්වයේ දෑත් දිගු කරගැනීමය. 2020 දී ඇමෙරිකාවේ මූලිකත්වයෙන් මෙම ගිවිසුම ක්‍රියාවට නැංවිණි.
මෙම ගිවිසුමට ‘ඒබ්‍රහම්’ යන නම තබා ඇත්තේ යුදෙව් ආගම, ඉස්ලාම් ආගම සහ ක්‍රිස්තියානි ආගම යන ප්‍රධාන ආගම් තුනටම සම්බන්ධ පොදු ආගමික නායකයකු ලෙස ‘ඒබ්‍රහම්’ සැලකෙන බැවිනි.

