තවත් ප්‍රබල භූමි කම්පාවක්



තුර්කි සිරියා දේශසීමාවේ තවත් නව භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් ලෙසය.

තුර්කි බලධාරීන් පැවැසුවේ මෙම නව භූමි කම්පාවෙන් තිදෙනකු මියගිය බවත් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා සිටින බවත්ය.

මෙම නව භූමි කම්පාවෙන් ද හානි සිදුවූයේ පසුගිය 6 වැනිදා සහ 7 වැනිදා තුර්කිය සහ සිරියාව කැලැඹූ රික්ටර් පරිමාණයේ ඒකක 7 ඉක්මවූ ප්‍රබල භූමි කම්පාවලින් සහ පසුකම්පනවලින් විනාශ වුණු නගර සහ ගම්මානවලටය.

මෙම නව භූමි කම්පාව හටගත්තේ දකුණු දිග තුර්කියේ හටෛයි පළාතේ කිලෝ මීටර් 2 ක් පමණ ගැඹුරිනි. හටෛයි පළාත පිහිටා ඇත්තේ මධ්‍යධරණී මුහුද අසලය.

භූමි කම්පාවෙන් පසු වෙරළාශ්‍රිතව සිටින ජනතාවට අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරුණි. ඒ මුහුදු මට්ටම හිටිහැටියේ ඉහළ යා හැකි බවටය. තුර්කි මාධ්‍ය පසුව වාර්තා කළේ මුහුදු මට්ටම සෙන්ටි මීටර් 30 කින් ඉහළ ගිය බවය.

එම නව භූමි කම්පාවෙන් පසුව ද රික්ටර් පරිමාණයේ ඒකක 5 ඉක්මවූ පසු කම්පනවලින් ද එම පළාත දෙදරා ගිය බව තුර්කි භූ විද්‍යාඥයෝ පවසති. මෙම නව භූමි කම්පාවේ ප්‍රබලත්වය, ජොර්දානයට, ඊශ්‍රායලයට සහ ඊජිප්තුවට ද දැණුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම නව භූමි කම්පාවෙන් සිරියාවේ ද හය දෙනකු තුවාල ලැබූ බව වාර්තා විය. නව භූමි කම්පාවෙන් ද හානි සිදුවූයේ ඇලෙප්පෝ නගරයටය.

ඇලෙප්පෝ නගරය අයත් එම ප්‍රදේශ පවතින්නේ සිරියානු රජයේ පාලනය යටතේ නොව, විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරන කැරැලිකරුවන්ගේ පාලනයේය.

එම පළාත්වලට ආධාර ලබා දීම සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහාය. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රමුඛ රජයේ ද සහාය හිමිවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය පෙබරවාරි 6 වැනිදා සහ 7 වැනිදා හටගත් ප්‍රබල භූමි කම්පාවලින් සහ පසු කම්පනවලින් තුර්කියේ සහ සිරියාවේ 47,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. මිලියන ගණනකට උන්හිටිතැන් අහිමි වී තිබේ. වැඩිම හානිය සිදුවී ඇත්තේ තුර්කියටය.

(රොයිටර්)


RECOMMEND POSTS