සෞදි විදෙස් ඇමැති නවදිල්ලියේ සංචාරයක



ඉන්දියාවේ සංචාරයට පැමිණි සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සෞද් කැමරු සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ හමුවක් නවදිල්ලි අගනුවරදී පැවැත්විණි.

සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සෞද් නවදිල්ලියට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගනු ලැබුවේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් විසිනි.

මෝදි හමුවීමට පෙර, සෞදි විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ ඇමැතිවරයා අතරේ සාකච්ඡා පැවැත්විණි. එහිදී ද සෞදියත් ඉන්දියාවත් අතර රාජ්‍ය තන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම සිදුවිය. කලාපීය අර්බුද ගැනද සාකච්ඡා කෙරුණි.

2019 දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සෞදියේ සංචාරයකට ගියේය. එහිදී ඉන්දියාවත් සෞදි අරාබියත් අතරේ සහයෝගීතාවක් ඇතිකර ගැනුණි. එම සහයෝගීතාව තවත් ශක්තිමත් කර ගැනීමට මෙම සාකච්ඡා ඉවහල් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්තානය යළි තලේබාන් පාලනයට නතුවීමත් සමඟ, සෞදි අරාබිය සහ ඉන්දියාව ඇෆ්ගනිස්තානය සමඟ සෘජු ගුවන් ගමන් ආරම්භ කර නැත. නව තලේබාන් රජය සමඟ සාකච්ඡා පවත්වමින් සෘජු ගුවන් ගමන් ආරම්භ කර ඇත්තේ කටාර් රාජ්‍යය සහ පාකිස්තානය පමණි.

ඇෆ්ගනිස්තානය සමඟ යළි සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද සෞදි විදේශ අමාත්‍යවරයාගේත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේත් අවධානය යොමු විය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS