ඉරාක සංචාරයට පාප්තුමා සූදානම්



විශේෂ ආරක්ෂාවක් මැද, සාමයේ පණිවුඩය රැගෙන, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ඊයේ (5) ඉරාකයට පැමිණීමට නියමිතව තිබුණි.

පාප්තුමකු ඉරාක සංචාරයකට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.

ඉරාකයේ කතෝලික ප්‍රජාව සහ ඉරාක රජය කළ ඉල්ලීමකට අනුව, සිවුදින සංචාරයක් සඳහා පාප්තුමන් ඉරාකයට යෑමට අදහස් කළ බව වතිකානය නිවේදනය කළේ පසුගිය ජනවරියේය.

කොවිඩ් 19 වයිරස වසංගත 2019 වසරේ ලොව කැලඹීමෙන් පසු, පාප්තුමන් විදෙස් සංචාරයකට එක් වන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

ඉරාක ද කොවිඩ් 19 වයිරසයෙන් බැටකන මැදපෙරදිග රාජ්‍යයකි. මේ වනවිට ඉරාකයෙන් කොවිඩ් 19 ආසාදිතයන් ගණන 7,00,000 පසු කර ඇති අතර, මරණ වාර්තා වන්නේ 14,000 ක් ලෙසය.  

වයිරස වසංගතය හේතුවෙන් විශේෂ සෞඛ්‍ය නිර්දේශ අනුව පාප්තුමන්ගේ සංචාරය සිදුවනු ඇතැයි වතිකාන වාර්තා සඳහන් කරයි.

පාප්තුමන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ඉරාක රජය පවසා ඇත. ඊට හේතුව සුන්නි අන්තවාදී ඉස්ලාමීය කල්ලිවලින් පාප්තුමන්ට මරණ තර්ජන එල්ල වන බැවිනි.

ඉරාකයේ ප්‍රධාන ෂියා මුස්ලිම් පූජකවරුන් හමුවීමට ද පාප්තුමන් සූදානම් වෙයි. ඉරාකයේ කතෝලික ප්‍රජාව වෙනුවෙන්, විශේෂ දේව මෙහෙයක් මොසූල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මීට වසර කීපයකට පෙර, 2014 දී, සුන්නි මුස්ලිම් අන්තවාදී අයි.එස්. ත්‍රස්තයන් ඉරාකයේ සිය ආධිපත්‍ය පතුරුවා ගෙන සිටිද්දී, මොසූල් නුවර ඔවුන්ගේ කේන්ද්‍රස්ථානය විය.

මීට පෙර දෙවැනි ජෝන් පෝල් පාප්තුමන් ඉරාකයේ සංචාරයකට යෑමට සූදානමින් සිටි නමුත්, එම සංචාරය අවලංගු විය.

ඒ, 1999 වසරේදී එම සංචාරයට අදාලව සදාම් හුසේන්ගේ රජය සමඟ පැවැත්වුණු සාකච්ඡා අසාර්ථක වූ බැවිනි.

ඉරාකයේ මිලියන 1.4 ක කතෝලික ජනගනයක් සිටි අතර, වාර්ගික සහ ආගමික ගැටුම්, කෙණෙහිලිකම් ආදිය හේතුවෙන් අද ඉරාකයේ වාසය කරන කතෝලික වැසියන් ගණන 2,50,000 කි.

ඉරාක කතෝලික වැසියන් බොහෝ දෙනකු එරටින් පලා ගියේ 2003 වසරේ දී ඇමෙරිකාව සදාම් හුසේන් පාලනය පෙරළා එරට ආක්‍රමණය කිරීමත් සමඟය‍.

වතිකානයේදීය (රොයිටර්)


RECOMMEND POSTS