සෞදි ප්‍රසංගය අවලංගු කරන්න



සෞදි අරාබියේ පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගය අවලංගු කරන්නැයි ඝාතනයට ලක්වුණු සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ පෙම්වතිය හටීජේ ජැන්ගේ ඇමෙරිකන් පොප් ගායක ජස්ටින් බීබර්ගෙන් ඉල්ලීමක් කර ඇත.

සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය සිදුවූයේ 2018 වසරේ තුර්කියේ ඉස්තාන්බුල් නුවරදීය. ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ඇතුළු ඔහුගේ සමීපතමයන්ටය. කශොග්ජී ඝාතනය වූයේ සිරුරු කොටස් පවා සොයා ගැනීමට නොහැකි වන ආකාරයටය.

කශොග්ජී, සෞදියේ සල්මාන් කුමරුන් දැඩි ලෙස විවේචනය කරමින්, ඇමෙරිකාවේ 'වොෂින්ටන් පෝස්ට්' පුවත්පතට තීරු ලිපි සැපැයූ මාධ්‍යවේදියෙකි.

සෞදියේ ජෙඩා නුවර, පළමු වරට 'ෆෝමියුලා වන් ග්‍රෝන්ද් ප්‍රී' මෝටර් රථ තරගාවලියක් පැවැත්වෙයි. ඊට සමගාමීව මහා සංගීත සැණකෙළියක් පැවැත්වීමට ඔටුන්න හිමි සල්මාන් කුමරු සැලැසුම් කර තිබේ. ජස්ටින් බීබර් පමණක් නොව, ප්‍රකට ගායික ගායිකාවන් රැසක් වෙන වෙනම සංගීත සංදර්ශන පැවැත්වීමට නියමිත බව පැවැසෙයි.

කශොග්ජීගේ පෙම්වතිය, ජස්ටින් බීබර්ගෙන් ඉල්ලා ඇත්තේ කශොග්ජට සිදුවුණු අසාධාරණය සලකා බලා ප්‍රසංගයට යෑම ප්‍රතික්ෂේප කරන ලෙසටය. 'ෆෝමියුලා වන් ග්‍රෝන්ද් ප්‍රී' මෝටර් රථ තරගාවලියට සමගාමීව සංගීත සංදර්ශන පැවැත්වෙනු ඇත්තේ ලබන දෙසැම්බර් 5 වැනිදා සිටය.

(රොයිටර්)


RECOMMEND POSTS