ඉරාක මැතිවරණයෙන් අල් සදාර්ගේ පක්ෂයට ජය



ඉරාක පාර්ලිමේන්තු මැතිවරණයෙන්, වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට ෂියා මුස්ලිම් ආගමික නායක මුක්ටාඩා අල් සදාර් සහ ඔහුගේ 'සදාර් බලවේගය' නමැති දේශපාලන සන්ධානය සමත් වී ඇත. ඒ අනුව, ඉරාකයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ මුක්ටාඩා අල් සදාර්ය.

පසුගිය 10 වැනිදා පැවැත්වුණු ඉරාක පාර්ලිමේන්තු මැතිවරණයෙන් දෙවැනි ස්ථානයට පත් වූයේ ඉරාකයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන නූර් අල් මලීකි සහ ඔහුගේ ෂියා මුස්ලිම් දේශපාලන සන්ධානය යැයි මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඉරාක පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ 'නියෝජිත කවුන්සිලය' යනුවෙනි. ඉරාක අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් තෝරා පත් කර ගැනීම සිදුවන්නේ, මහ මැතිවරණයෙන් 'නියෝජිත කවුන්සිලය' ට තේරී පත් වන නියෝජිතයන්ය.

'නියෝජිත කවුන්සිලය' ආසන 329 කින් සමන්විතය. බහුතරය සඳහා දිනා ගතයුතු ආසන ගණන 165 කි. මෙවර මැතිවරණයට ඉදිරිපත් වුණු අපේක්ෂකයන් ගණන 3,000 කට වැඩිය. ඉරාකයේ ජනගහනය මිලියන 40 ක් බවත්, මැතිවරණය සඳහා ලියාපදිංචි වූවන් ගණන මිලියන 25 ක් බවත් මැතිවරණ කොමිසම පවසා තිබුණි. කෙසේ නමුත් ඡන්දය ප්‍රකාශ කළ ගණන ඉතා අඩු අගයක් ගත් බව ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS