ඉරාක පාර්ලිමේන්තු මැතිවරණය අවසන්



ඉරාකයේ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (10) පැවැත්විණි. ඉරාක පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ 'නියෝජිත කවුන්සිලය' යනුවෙනි. ඉරාක අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් තෝරා පත් කර ගැනීම සිදුවන්නේ, මහ මැතිවරණයෙන් 'නියෝජිත කවුන්සිලය' ට තේරී පත් වන නියෝජිතයන්ය.

ඉරාකයේ 'නියෝජිත කවුන්සිලය' ආසන 329 කින් සමන්විතය. බහුතරය සඳහා දිනා ගතයුතු ආසන ගණන 165 කි. මැතිවරණයට ඉදිරිපත් වුණු අපේක්ෂකයන් ගණන 3,000 කට වැඩිය. ඉරාකයේ ජනගහනය මිලියන 40 ක් බවත්, ඊයේ (10) මැතිවරණය සඳහා ලියාපදිංචි වූවන් ගණන මිලියන 25 ක් බවත් මැතිවරණ කොමිසම පවසා තිබුණි.

ඇමෙරිකන් හමුදා ඉරාකය ආක්‍රමණය කර, සදාම් හුසේන් පාලනය පෙරළා දැම්මේ 2003 වසරේදීය. ඒ සදාම් හුසේන් සතුව විනාශකාරි අවි ඇති බවට චෝදනා නගමිනි. කෙසේ නමුත් එවැනි අවි කිසිවක් හමු නොවිණි. ඇමෙරිකාවේ යටි අරමුණ වූයේ ඉරාක තෙල් සම්පත ප්‍රයෝජනයට ගැනීම බව ලොවට රහසක් නොවෙයි. සැඟවී සිටි සදාම් හුසේන් අල්ලා එල්ලා මරා දැමීම ද සිදුවිය.

සදාම් හුසේන්ගේ පාලනය පෙරළා දැමීමෙන් පසු ඊයේ  (10) පැවැත්වූයේ, ඉරාකයේ පස්වැනි මහ මැතිවරණයයි. මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන වසරේදීය. කෙසේ නමුත් 2019 වසරේ සිට ඉරාකයේ ජනතා විරෝධතා පැවැත්වෙයි. විරෝධතාවලට සහභාගී වූ වැඩි දෙනා ඉරාක තරුණ තරුණියන්ය. ඒ, විරැකියාව සහ ධරිද්‍රතාව ඉහළ යෑම මෙන්ම යටිතළ පහසුකම් ද නොමැති බැවිනි. එම විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙද්දී විරෝධතාවලට එක් වුණු 590 දෙනකු මියගිය බව ද වාර්තා විය.

අවසනයේ එම විරෝධතා සැලකිල්ලට ගනිමින් නියමිත දිනට මාස 6 කට පෙර මැතිවරණයකට යෑමට ඉරාක කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළේය. සදාම් හුසේන් පාලනය බිඳ වැටීමෙන් පසු, ඉරාකයේ පාලන බලය අල්ලා ගෙන සිටින්නේ ෂියා මුස්ලිම් දේශපාලන කණ්ඩායම්ය. අද වනවිට එම ෂියා මුස්ලිම් දේශපාලන කණ්ඩායම් අතරේ ද බෙදීම් පවතී.

බෙදීම සිදුවී ඇත්තේ ඉරාක ෂියා මුස්ලිම් දේශපාලන කණ්ඩායම් සහ අසල්වැසි ඉරානයේ සහාය මෙන්ම අනුග්‍රහය ද ලබන ෂියා මුස්ලිම් දේශපාලන කණ්ඩායම් අතරේය. කලක් පසමිතුරනක් වූ ඉරාකය සහ ඉරානය මේ වනවිට සමීප සබඳතා පවත්වයි. එසේ වූයේ ඉරාකයෙන් හිස එස වූ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ය එරෙහි සටනේ දී ඉරාක රජයට සහ හමුදාවට ඉරානය සහාය දැක්වීමත් සමඟය. ඉරානය යනු ලොව විශාලතම මෙන්ම එකම ෂියා මුස්ලිම් රාජ්‍යයයි.ෙ

ඊයේ (10) පැවැති මහ මැතිවරණයෙන් ද බලයේ සිටින ෂියා මුස්ලිම් දේශපාලන කණ්ඩායම් යළි ජයග්‍රහණය කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දී තිබේ. බොහෝ ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් මැතිවරණයට ඉදිරිපත් නොවීය. ඒ මැතිවරණය සාධාරණ එකක් නොවේවි යැයි පෙන්වා දෙමිණි. ඊයේ (10) උදෑසන 7 ට ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වුණු අතර සවස 4 ට අවසන් විය. ඡන්දය ප්‍රකාශ කළ ගණන ප්‍රතිශතයක් ලෙස සියයට 30 කි.

(අල් ජසීරා)


RECOMMEND POSTS