හයිටි ජනපති ඝාතන සැකකරු අල්ලා ගැනෙයි



හයිටි ජනාධිපති ජොවෙනල් මෙයිස්ගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට තම ආරක්ෂක අංශ සමත් වූ බව තුර්කි රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

කුලී හේවායන් කණ්ඩායමක් මහ රෑ හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් අගනුවර ජනාධිපති නිල නිවසට කඩා වැදී ජනාධිපති ජොවෙනල් මොයිස් සහ බිරිඳට වෙඩි තැබුවේ පසුගිය ජූලි මාසයේය. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් ජනාධිපතිවරයා එම ස්ථානයේදීම මියගිය අතර ජනාධිපති ආර්යාව තුවාල ලබා දිවි ගලවා ගත්තාය.

තුර්කි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ සමීර් හන්ඩාල් නමැති ව්‍යාපාරිකයාය. මොහු ඉස්තාන්බුල් ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී තුර්කි ආරක්ෂක අංශ ඔහු රඳවා ගත් බව පැවැසෙයි.

සමීර් හන්ඩාල් ඇමෙරිකාවේ සිට ජෝර්දානයට යන අතරතුරේ තුර්කියේ ඉස්තාන්බුල් ගුවන්තොටුපොළට පැමිණියේ ජෝර්දානයට යන ගුවන් යානයකට මාරු වීමට යැයි අල් ජසීරා පුවත් සේවය පවසා ඇත.

හයිටි බුද්ධි අංශ චෝදනා කරන්නේ ඇමෙරිකාවේ අනුදැනුම යටතේ ජනාධිපති ජොවෙනල් මොයිස් ඝාතනය සිදුවුණු බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS