කටාර් විදේශ ඇමැති ඇමෙරිකන් රාජ්‍ය ලේකම් හමුවෙයි



ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයා ලෙස කටාර් රාජ්‍යය කටයුතු කරනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසයි.

ඇමෙරිකන් රාජය ලේකම්වරයා මෙසේ පැවැසුවේ කටාර් විදේශ ඇමැති ෂෙයියික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී හමුවීමෙන් අනතුරුවය. හමුව පැවැත්වූයේ වොෂින්ටන් අගනුවර රාජ්‍ය දෙපාර්තමේන්තුවේදීය.

ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස කටයුතු කිරීමට අදාල ගිවිසුමට කටාර් විදේශ ඇමැති ෂෙයියික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී එහිදී අත්සන් තැබුවේය.

ඇෆ්ගන් තලේබාන් සංවිධානය සහ ඇමෙරිකාව අතර සාම කතා පැවැත්වීම පවා සිදුවූයේ කටාරයේ මැදිහත් වීමෙනි. තලේබාන් සාම කාර්යාලය පිහිටා ඇත්තේ කටාරයේය.

ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව යෑමේ දී එම කටයුතු කඩිනමින් සහ ආරක්ෂිතව සිදුවූයේත්, තලේබාන් පාලනය ප්‍රතික්ෂේප කළ ඇෆ්ගන් වැසියන්ට මෙන්ම විදේශිකයන්ට ද එරටින් පිටවී යෑමට ඉඩ සලසා දීම සිදුවූයේත් කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙනි.

ඇමෙරිකාවත් කටාර් රාජ්‍යයත් අතර සමීප සබඳතා පවතී. ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකාවට අවශ්‍ය පරිදි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පවත්වාගෙන යෑමට කටාර් රාජ්‍යයේ සහාය හිමිවනු ඇතැයි තමන්ගේ විශ්වාසය යැයි කටාර් විදේශ ඇමැතිවරයා හමුවුණු අවස්ථාවේදී ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අවධාරණය කළේය.

(ඒ.ඒෆ්.පී.)


RECOMMEND POSTS