බැංකු සේවකයන් ප්‍රාණ ඇපයට ගත් තරුණයා වීරයෙක්



තම ඉතිරි කිරිමේ ගිණුමේ ඇති මුදල් ලබා ගැනීමට නොහැකි වූ බැවින් ගිනි අවියක් අතැතිව, රාජ්‍ය බැංකුවට කඩා වැදී, පැය හයකට වැඩි කාලයක් බැංකු සේවක සේවිකාවන් ප්‍රාණ ඇපයේ රඳවා ගත් ලෙබනන් ජාතිකයෙක් අවසානයේ පොලිසියට යටත් විය.

42 හැවිරිදි බසාම් අල් ෂෙයික් හුසේන් නමැති පුද්ගලයා, බේරූට් අගනුවර හම්රා දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය බැංකුවට කඩා වැදුණේ රයිෆලයක් සහ ප්‍රෙටල් බූලියක් ද අතැතිවය. තම ඉතිරි කිරීමේ ගිණුමේ මුදල් ආපසු නොදුන්නොත්, තමන් තම සිරුරට ගිනි තබා ගන්නා බවට ඔහු තර්ජනය කර තිබේ.

2019 වසරේ සිට ලෙබනනය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. ආර්ථික අර්බුදය හේතුවෙන්, එරට රාජ්‍ය බැංකු නව නීති හඳුන්වා දී ඇත. ඉතුරු කිරීමේ ගිණුම් වෙත ප්‍රවේශ වීමට මෙන්ම, ඉතිරි කිරීමේ ගිණුමෙන් ලබා ගත හැකි මුදල් ප්‍රමාණය සීමා කර තිබේ.

මේ නිසා ලෙබනන් වැසියෝ මහත් දුෂ්කරතා රැසකට මුහුණ දෙති. දිනපතාම පාහේ බේරූට් අගනුවර රාජ්‍ය බැංකු ඉදිරිපිට විරෝධතා දකින්න ලැබෙන බව ලෙබනන් මාධ්‍ය පෙන්වා දෙයි.

බසාම් අල් ෂෙයික් හුසේන්ගේ පියා දැඩි ලෙස ගිලන් වී සිටී. පියාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහාත්, රෝහල් බිල් ගෙවීම සඳහාත් තමන්ට තම ඉතිරි කිරීමේ ගිණුමේ ඇති ඇමෙරිකන් ඩොලර් 210,000 ක මුදල ආපසු අවශ්‍ය යැයි හුසේන් අවස්ථා කීපයකදී බැංකු ප්‍රධානීන් හමුවී පැහැදිලි කර ඇත. කෙසේ නමුත් හුසේන්ගේ ඉල්ලීම ඒ සෑම අවස්ථාවකදීම ප්‍රතික්ෂේප වූ බව පැවැසෙයි.

හුසේන්, බැංකුවට කඩා වැදී එහි සේවක සේවිකාවන් පැය 6 ක් ප්‍රාණ ඇපයට ගෙන සිටිද්දී, හුසේන්ට සහාය දක්වමින් ලෙබනන් වැසියෝ සිය ගණනක් බැංකුව ඉදිරිපිටට රැස්වුහ. ඒ, අතර හසාන්ගේ බිරිඳ සහ සොහොයුරාද විය. වෙනත් විකල්පයක් නොතිබුණු බැවින් තම සැමියා බැංකුවට කඩා වැදුණු බව බිරිඳ මාධ්‍ය හමුවේ පැවැසුවාය.

හුසේන් පොලිසියට භාරවීමට තීරණය කළේ සාකච්ඡාවලින් පසු බැංකු නිලධාරීන්, හසාන්ගේ ගිණුමේ ඇති මුදලින් ඇමෙරිකන් ඩොලර් 35,000 ආපසු හසාන් වෙත ලබා දීමට එකග වුණු බැවිනි. ඒ වනවිට ලෙබනන් පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් බැංකු ගොඩනැගිල්ල වට කර තිබුණු බව මාධ්‍ය වාර්තා කර තිබේ.

පොලිස් අත්අඩංගුවට ගැණුනු හුසේන් බැංකුවෙන් රැගෙන ගියේ බැංකුව ඉදිරිපිට රැස්ව සිටි සිය ගණනක් ලෙබනන් වැසියන්ගේ ඔල්වරසන් මධ්‍යයේය. හුසේන් වීරයකු බව ලෙබනන් වැසියෝ එක හඬින් පැවැසූහ. පොලිස් අත්අඩංගුවට පත්වුණු හුසේන් ට පොරොන්දු වුණු එම මුදල නොලැබුණු බව ඔහුගේ නීතීඥවරයා පසුව මාධ්‍ය හමුවේ පැවැසීය.

(රොයිටර්)


RECOMMEND POSTS