බයිඩන් සහ ට්‍රම්ප්ගේ කිසිම වෙනසක් නෑ



බලයට පත් වූ දා සිට ඉරානයට දිගින් දිගටම කෙණෙහිලිකම් කළ ඇමෙරිකාවේ හිටපු රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් ඩිමොක්‍රටික් ජනාධිපති ජෝ බයිඩන් අතර කිසිදු වෙනසක් නැතැයි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී චෝදනා කරයි.

වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, විලෝපික, කොල්ලකාරී වෘකයකු යැයි ද ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී පවසා ඇත. ඉරාන උත්තරීතර නායකයා මෙසේ ඇමෙරිකන් ජනාධිපති බයිඩන් විවේචනය කළේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමින් පවතින අර්බුදය හේතුවෙනි.

2015 දී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකාව මැදිහත් වී එකඟත්වයක් ඇති කර ගත්තේය. එවිට ජනාධිපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමාය. ජෝ බයිඩන්, ඔබාමාගේ දෙවැනියා ලෙස උප ජනාධිපති ධුරය හෙබවීය.

ඇමෙරිකාව ඉරානය සමඟ න්‍යෂ්ටික එකඟතාවක් ඇති කර ගත්තේ රුසියාව, චීනය, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය සහ යුරෝපා සංගමය ද හවුල් කර ගනිමිනි. ඔබාමාගෙන් පසු බලය ආ ට්‍රම්ප්, ඊශ්‍රායලයට සහාය දක්වමින්, ඇමෙරිකාව 2015 ඉරාන න්‍යෂ්ටික එකඟතාවයෙන් ඉවත් කර ගත්තේය. ඉන්පසු 2015වසරට පෙර ඉරානයට පනවා තිබූ සහ ඔබාමා පරිපාලනය විසින් ඉවත් කරනු ලැබූ සම්බාධක යළි පැනැවීය. ඉරානය මේ වනවිට 'කොවිඩ් 19' පස්වැනි රැල්ලට මුහුණ දෙන්නේ ද ඇමෙරිකන් සම්බාධක මධ්‍යයේය.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් යළි සාකච්ඡා පැවැත්වීම බයිඩන් පරිපාලනය කැමැත්ත පළ කර ඇති අතර, සාකච්ඡා වියානා නුවරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් පවතී.

මේ අතරතුරේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි. එහිදී ඉරානය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ නමුත් දෙදෙනාගේ වැඩි අවධානය යොමු වූයේ ඉරානය සම්බන්ධයෙන්ය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා යළි ආරම්භ කිරීමට තමන් උත්සාහ ගන්නා බවත්, යම් හෙයකින් එම සාකච්ඡා අසාර්ථක වුවහොත්, ඉරානය සම්බන්ධයෙන් ඕනෑම ආකාරයක දැඩි තීරණයක් ගැනීමට පසුබට නොවන බව ජනාධිපති බයිඩන් පැවැසීය. ඉරාන උත්තරීතර නායකයාගේ විරෝධයට මෙම ප්‍රකාශය හේතුවක් විය.

ඊශ්‍රායලය, ඉරානය ත්‍රස්ත රාජ්‍යයක් ලෙස සලකන අතර, මැදපෙරදිග කලාපයේ ඇමෙරිකාවේ සමීපතම මිතුරා වන්නේ ඊශ්‍රායලයයි. ලොව එකම යුදෙව් රාජ්‍යය වන්නේ ද ඊශ්‍රායලයයි. ඇමෙරිකාව, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීම ඊශ්‍රායලයේ නොසතුටට කරුණකි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS