ඉරානයේ චීන තානාපති කැඳවා ප්‍රශ්න කරයි



ඉරාන රජය එරට චීන තානාපති කැඳවා ප්‍රශ්න කළේය. ඒ, පසුගිය දා සෞදි සංචාරයේ දී චීන ජනාධිපති ෂී ජින්පින් ඉරානය සිත්තැවුලට පත් කරන ආකාරයට කළ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් ඊට විරෝධය දක්වමිනි.

චීන ජනාධිපති ෂී ජින්පින් සෞදියේ රියාද් බලා පැමිණියේ තෙදින නිල සංචාරයකටය. සෞදියේ සල්මාන් රජුගෛන් පමණක් නොව ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගෙන් ද චීන ජනාධිපතිට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

සෞදියේ මැදිහත් වීමෙන් චීනය සහ අරාබි රටවල රාජ්‍ය නායකයන්ගේ සමුළුවක් ද පැවැත්විණි. එහිදී චීනයට නව ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට හැකියාව ලැබුණි.

සෞදි අරාබිය සහ ඉරානය අතරේ ඇයිහොඳයිකම් පළුදු වී ඇත. සෞදි සංචාරයේ දී චීන ජනාධිපති ෂී ජින්පින්, හෝමූස් සමුද්‍ර සන්දියේ ඇති කුඩා දූපත් 3 ක් ගැන අදහස් දැක්වීය. මෙම දූපත් 1971 සිට ඉරානය විසින් බලෙන් අල්ලා ගනු ලැබ ඇත. එසේ වුවත් එම දූපත් අයිති තමන්ට යැයි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පවසයි.

දූපත්වල අයිතිය තීරණය කළ යුත්තේ අන්තර් ජාතික නීතිවලට අනුව යැයි ද චීන ජනාධිපති ෂී ජින්පින් පැවැසුවේය. ඉරානයේ විරෝධයට හේතුව වූයේ මෙයයි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල තර්ජන ගර්ජන මැද ඉරානයට සිටින සමීපතම මිතුරා වන්නේ චීනයයි

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS